නාමල් අත්අඩංගුවට ගත් පසු රතිඤ්ඤා පත්තු කර බැනර් ගහන්න සූදානමක්? අත්අඩංගුවට ගත්තොත් සේගුනයක් සෙනඟ ගේනවා
ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කළද, ලබන 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැළිය කිසිදු බාධාවකින් තොරව අතිසාර්ථක අයුරින් පවත්වන බවයි.
මම වැරැද්දක් කරලා නෑ - වැරදි කරන්න අවශ්‍යතාවයකුත් නැහැ - බයනම් අපි එන්නෙත් නෑ - පරීක්ෂණවලට මුහුණදෙන්න අපි සූදානම්
මාධ්‍යවේදීන් අමතමින් ඔහු අද (04) පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී, එම පරිශ්‍රයෙන් පිටත රැඳී සිටිමින් මෙසේ පැවසුවේය.
"නාමල් මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගත්තොත් අපි තවත් දෙගුණයක සෙනඟක් අනුරාධපුරයට ගේනවා. මේ අත්අඩංගුවට ගැනීමේ උත්සාහය පිටුපස දේශපාලන අරමුණක් තියෙනවා. මේ සති අන්තයේ ජනාධිපතිතුමාටත් රැස්වීමක් තියෙනවා. නමුත් එතුමාට ජනතාවට කියන්න දෙයක් නැහැ. වරායවල්, එයාර්පෝට්, හයිවේ හැදුවා කියන්නද?
නැත්නම් පාන්පිටි, කිරිපිටි මිල අඩු කළා කියන්නද? කියන්න දෙයක් නැති නිසා නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගත්තා කියලා එදාට අප්පුඩි ගස්සවන්නයි මේ හදන්නේ," යැයි මිලින්ද රාජපක්ෂ මහතා චෝදනා කළේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් පසු ගම් මට්ටමින් රතිඤ්ඤා පත්තු කර, බැනර් සහ කටවුට් ප්‍රදර්ශනය කරමින් සැමරීමට සූදානම් වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් සිය පාක්ෂිකයන් වෙත වට්ස්ඇප් පණිවිඩ මගින් උපදෙස් දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
ආණ්ඩුවට විරුද්ධව හඬ නගන විට සහ පක්ෂය ශක්තිමත් වන විට මෙවැනි කැඳවීම් සහ මර්දනයන් සාමාන්‍ය දෙයක් බවත්, ඒ කිසිවකින් තම දේශපාලන ගමන නැවැත්විය නොහැකි බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.