මේක අයියගේ වැඩක් - අකුරේගොඩ ඝාතනය ගැන අත්අඩංගුවටට ගත් සහෝදරයන් දෙදෙනා සියල්ල වමාරයි
අද (16) පොලීසිය විසින් තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය පවසන පරිදි, නීතිඥවරයාගේ වාහනය ඇති ස්ථානය සම්බන්ධයෙන් ඔත්තු ලබාදී ඇත්තේද මෙම සහෝදරයින් දෙදෙනා බව සඳහන්. බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද පස්වරුවේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටි මෙම තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගනු ලැබුවේ කොට්ටාව ප්‍රදේශයේදීය.
නවගමුවවේ පදිංචිකරුවන්වන නදුන් කවීෂ සහ සනෝජ් කෝකිල යන ඔවුන් දෙදෙනා වයස අවුරුදු 20 සහ 27 වයස්වල පසුවන්නන් වේ. එම දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණ වී තිබේ.
විදෙස්ගතව සිටින අපරාධකරුවන් වන තරිඳු මධුසංඛ නොහොත් "ටුටූ" සහ "මෝදර නිපුන" යන අයගේ මෙරට තුළ අයිස් ජාවාරම මෙහෙයවනු ලබන්නේ මෙම සහෝදරයින් දෙදෙනා බවද අනාවරණය වි තිබේ. විදෙස්ගතව සිටින මෙම අපරාධකරුවන් දෙදෙනා මෙම සහෝදරයින් අමතා
''දවස් 7කට වාහනයක් රෙන්ට් එකට ගනින් , සුද්දා අයියාගේ වැඩක් තියෙනවා, ඒක කරන්න ඕනේ''
යැයි ප්‍රකාශ කර ඇත. ඒ අනුව සහෝදරයින් දෙදෙනා කොට්ටාවේ ආයතනයක් වෙත ගොස් කුලී පදනම මත කළු පැහැති මෝටර් රථයක් ලබාගෙන ඇත. අනතුරුව තවත් පුද්ගලයෙක්, සහෝදරයින් අමතා කියා ඇත්තේ කොටිකාවත්තේ යම් ස්ථානයකට ගොස් එහි පැමිණෙන ත්‍රීරෝද රථයකින් ලබාදෙන ගිනිඅවි සහිත පාර්සලයක් ලබාගන්නා ලෙසයි.
එය රැගෙන නීතිඥවරයා ඝාතනයට ලක්වූ සුපිරි වෙළෙඳසැල අසලට යන්නැයි එම පුද්ගලයා , සහෝදරයින් දෙදෙනාට පවසා තිබේ. පසුව ඔවුන් වෙඩි තැබීම සිදුවූ දිනයේ, සිද්ධියට පැය කිහිපයකට පෙර අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැල ආසන්නයට ගොස් ඒ ආසන්නයේ නවතා තිබූ තවත් මෝටර් රථයකට ගිනිඅවි සහිත පාර්සලය භාරදී තිබේ.
මෙම ගිනිඅවි භාවිත කරමින් අදාළ නීතිඥවරයා ඝාතනය කිරීමට නියමිත බව මෙම සහෝදරයින් දෙදෙනා සතියක පමණ කාලයක සිට දැනුවත්ව සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි. මෙහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ නීතිඥවරයා සිය බිරිඳ ඇයගේ කාර්යාලයෙන් නංවා ගෙන සෑම දිනකම පිටත්ව යන්නේ පස්වරු 4.30ත් - 5ත් අතර වේලාවේදී බවය. මෙම සහෝදරයින් දෙදෙනා, ඝාතනයට ලක්වූ නීතිඥවරයාගේ රථය සම්බන්ධයෙන් ඔත්තු බලා ඇති අතර වෙඩිතැබීම සිදුවූ දින එය සුපිරි වෙළෙඳසැලේ රථගාලේ නවතා ඇතැයි වෙඩික්කරුවන්ට ඔත්තුව දී ඇත්තේද ඔවුන් දෙදෙනා විසින් ය.
අනතුරුව වෙඩික්කරුවන් රැගත් මෝටර් රථය එහි පැමිණ නීතිඥවරයා සහ බිරිඳ ඝාතනය කර තිබුණි. ඒ අතරවාරයේ සහෝදරයින් දෙදෙනා ඉන් පිටත්ව හෝකන්දර දෙසට ගමන් කර තිබුණි. ඝාතනයට අදාළ CCTV දර්ශන සහ තවත් කරුණු රැසක් ඔස්සේ විමර්ශන සිදුකළ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය අනාවරණ කරගත්තේ වෙඩික්කරුවන්ට ගිනිඅවි ලබාදී ඇත්තේ මෙම මෝටර් රථයෙන් බවය.
ඒ අනුව දින 7ක් සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය යළි භාරදීම සඳහා මෙම සහෝදරයින් දෙදෙනා අද පස්වරුවේ කොට්ටාවේ ආයතනය වෙත එමින් සිට තිබුණි. එම අවස්ථාවේ දී වාහනය ලුහුබැඳ ආ පොලිස් නිලධාරීන් මෝටර් රථය සිය භාරයට ගෙන සහෝදරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුවන් දෙදෙනාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී වෙඩික්කරුවන් සම්බන්ධයෙන්ද තොරතුරු රැසක් අනාවරණ වී තිබේ. වෙඩි තැබීමට ආ වෙඩික්කරුවන් අතරින් එක් අයෙක් පන්නිපිටියේ හෝටලයකට පැමිණ ඇත්තේ වෙඩිතැබීමට දින 3කට පෙර බවද සඳහන්. පසුව එහි පැමිණි තිබූ සහෝදරයින් දෙදෙනා වෙඩික්කරුට අයිස් සහ අවශ්‍ය පහසුකම් සපයා ඇත.
අනෙක් වෙඩික්කරු එම හෝටලයට පැමිණ ඇත්තේ වෙඩි තැබීම සිදුවූ දින බවට අනාවරණ කරගෙන ඇත. ඒ අනුව මෙම ඝාතනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් සහෝදරයින්ට මුදල් ලැබී නොමැති අතර ඔවුන්ට අයිස් මත්ද්‍රව්‍ය ලබාදී තිබේ. පොලීසිය පැවසුවේ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන සැකකාර සහෝදරයින් දෙදෙනා අයිස් ජාවාරම සිදුකර ඇති බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණයෙන්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ මෙහෙයවීමෙන්, බස්නාහිර දකුණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර මඟපෙන්වීමෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අපක්ෂපාතීව සිදු කරමින් පවතී.