ආටෙමිස් II මෙහෙයුමේ මිනිත්තු 40ක් පෘථිවිය සමඟ සබඳතා බිඳ වැටෙයි
ආටෙමිස් II (Artemis) මෙහෙයුමේ නිරත ගගනගාමීන් තරම් පෘථිවියෙන් ඈතට ගිය වෙනත් කිසිවෙකු මෙතෙක් ඉතිහාසයේ නොමැති බව සදහන් වේ.
පෘථිවිය ඔවුන්ගේ පසුපස කන්නාඩියෙන් කුඩා තිතක් ලෙස පෙනී යන විට පවා, ටෙක්සාස්හි හූස්ටන් නුවර පිහිටි මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ ඔවුන් නිරන්තරයෙන් සම්බන්ධ වී තිබුණි .
නමුත් දැන් එම සබඳතාව තාවකාලිකව බිඳ වැටීමට නියමිත බව වාර්තා වේ.
සඳුදා දින බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 23:47 ට (EDT වේලාවෙන් 18:47) ගගනගාමීන් සඳුගේ පිටුපස ප්‍රදේශයට ගමන් කිරීම ආරම්භ කරන විට , පෘථිවිය සහ යානය අතර පණිවිඩ හුවමාරු කරන රේඩියෝ සහ ලේසර් සංඥා සඳ විසින් අවහිර කරනු ලබයි.
මෙහිදී මිනිත්තු 40 ක පමණ කාලයක් ගගනගාමීන් සිව්දෙනා දැඩි හුදෙකලාවක පසුවනු ඇති බව සඳහන්ය මේ පිළිබද විචාරකයින් සදහන් කරන්නේ අභ්‍යවකාශයේ අඳුර මැදින් ගමන් කරන ඔවුන්ට එය තමන්ගේම සිතුවිලි සහ හැඟීම් සමඟ තනිවීමට ලැබෙන සුවිශේෂී මොහොතක් වනු ඇති බවයි.
මෙම නිශ්ශබ්දතාව පිළිබඳව අදහස් දක්වමින් ආටෙමිස් නියමුවා වන වික්ටර් ග්ලෝවර් පවසා සිටියේ මෙය ලෝකයම එකට එක්වන අවස්ථාවක් කරගනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බවය.
"අපි සඳට පිටුපසින් සැඟවී සැමගෙන් වෙන්ව සිටින විට, එය අවස්ථාවක් කරගන්න. අපි නැවත පෘථිවිය සමඟ සම්බන්ධ වන තෙක් ප්‍රාර්ථනා කරන්න, බලාපොරොත්තු තබාගන්න, ඔබේ සුබ සිතිවිලි අප වෙත එවන්න," යනුවෙනි.
මීට වසර 50 කට පෙර ඇපලෝ මෙහෙයුම්වල නිරත වූ ගගනගාමීන්ටද මෙවැනිම හුදෙකලා අත්දැකීම්වලට මුහුණ දීමට සිදුව තිබූ බව සඳහන්ය.
මෙහිදී වඩාත්ම අවධානයට ලක්වූයේ ඇපලෝ 11 හි මයිකල් කොලින්ස් ය. 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් සඳ මත පළමු පියවර තබමින් ඉතිහාසය නිර්මාණය කරන විට, කොලින්ස් සඳ වටා කක්ෂගත වී තිබූ යානය තුළ තනිවම ඇත.
ඔහුගේ යානය සඳුගේ පිටුපස ප්‍රදේශයට ගමන් කළ සෑම අවස්ථාවකම, සඳ මත සිටි තම සගයන් සහ මෙහෙයුම් මධ්‍යස්ථානය සමඟ තිබූ සබඳතාව මිනිත්තු 48 කට අහිමිව ගිය බව සඳහන් වේ.
පසු කලෙක ඔවු විසින් රචිත Carrying the Fire නැමැති ස්වයං චරිතාපදානයේ ඔහු එම අත්දැකීම විස්තර කළේ "සැබවින්ම තනි වූ හුදෙකලා වූ" මොහොතක් ලෙසය. එහෙත් තමාට කිසිදු බියක් හෝ පාළුවක් නොදැනුණු බව ඔහු පවසා තිබුණි.