විශේෂ සාකච්ඡාවක් - අධිකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳ මල්වතු මහා නාහිමි දැනුවත් කෙරේ
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සහ ජන මාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (03) මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගෙන තිබේ.
අධිකරණ පද්ධතිය සහ බන්ධනාගාර ක්ෂේත්‍රයේ පවතින ගැටලු මෙන්ම ඒ සඳහා රජය ගෙන ඇති සහ ඉදිරියට ගැනීමට නියමිත විසඳුම් පිළිබඳව මහා නාහිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙහිදී දීර්ඝ කාලයක් පුරා නඩු කල්යාම හේතුවෙන් ජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම, අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, පද්ධතිය ඩිජිටල්කරණය කිරීම, නව විනිසුරුවරුන් හා කාර්ය මණ්ඩල බඳවා ගැනීම මෙන්ම රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පුළුල් කිරීම පිළිබඳව ද නාහිමියන්ට පැහැදිලි කර තිබේ.
තවද, ඉදිරි අයවැය මඟින් විනිසුරුවරුන්ගේ වැටුප් හා දීමනා ඉහළ නැංවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරුන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.