ඉන්ධන මිල සහ විදුලි ගාස්තුව ගැන ඇහෙන අලුත්ම ආරංචිය ඇමතිගේ කටින්ම පනී
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් පොරොන්දු වූ පරිදි ඉදිරි වසර තුන ඇතුළත විදුලි ගාස්තු තුනෙන් එකකින් (1/3) අඩු කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා රජය සාර්ථකව අවතීර්ණ වී සිටින බව සඳහන් කළා.
ඒ අද (06) දින පාර්ලිමේන්තුවේදීයි.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2024 වසරේදී රුපියල් 37ක්ව පැවති විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය මේ වන විට රුපියල් 29 දක්වා අඩු කිරීමට රජය සමත්ව ඇති බවයි.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිරිවැය අඩු කිරීමේ ඉලක්ක සම්බන්ධයෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, රජයේ මීළඟ ඉලක්කය වන්නේ විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය රුපියල් 25 දක්වා පහත හෙළීම බවයි.
එබැවින් එම ඉලක්කය සපුරාගතහොත් සමස්ත විදුලි ගාස්තුව සියයට 32කින් අඩු කිරීමට හැකියාව ලැබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම පොරොන්දු ඉටු කිරීම 2024 ජූලි මාසයේදී ඒකකයක පිරිවැය රුපියල් 37ක්ව පවතින අවධියක, වසර තුනක් තුළ විදුලි ගාස්තු සියයට 30කින් අඩු කරන බවට ජාතික ජන බලවේගය ලබාදුන් සහතිකය මත පිහිටා රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව ද ඔහු සිහිපත් කර සිටියා.
එසේම මෙහිදී අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නේ 2026 වසරේ පළමු කාර්තුව සඳහා අපේක්ෂිත රුපියල් මිලියන 13,094ක මූල්‍ය හිඟය පියවා ගැනීමට, විදුලි ගාස්තු සියයට 11.57කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති බවයි.
කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ පවතින තත්ත්වය මත ඉන්ධන වරායෙන් බාන මිලට කොහොමවත්ම ලබා දිය නොහැකි බවත් පැවසූ ඔහු එතනින් එහා බෙදා හරීමට විශාල පිරිවැයක් යන බවත් සඳහන් කළා.
එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ විපක්ෂ නායකවරයා ඒ ගැන විමසන්නේ සාමාන්‍ය දැනීමවත් නැතුව බවයි.