මැද පෙරදිග යුද්ධේ මැද්දේ ලංකාවේ ආර්ථිකයට රතු එළියක් - රට බරපතළ අවදානමක බවට අනතුරු ඇඟවීමක්
මැද පෙරදිග කලාපයේ ඇවිළෙමින් පවතින යුධමය තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ අනෙකුත් භාණ්ඩ මිල ඉහළ යාම, ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බහුවිධ බලපෑම් එල්ල කරනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවයි.
ඒ අනුව විශේෂයෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ ආනයන වියදම් ඉහළ යාම, රුපියල අවප්‍රමාණය වීම සහ ඉන්ධන හා නැව් ගාස්තු ඉහළ යාම මත පදනම් වූ උද්ධමනයක් මෙරට තුළ නිර්මාණය විය හැකි බවයි.
මේ අතර ‘සීටී ස්මිත් ස්ටොක් බ්‍රෝකර්ස්’ (CT Smith Stock Brokers) ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාව මැද පෙරදිග කලාපය සමඟ පවතින සමීප සබඳතා නිසා මෙම අර්බුදය හමුවේ නාලිකා කිහිපයක් ඔස්සේ ආර්ථික කම්පනයන්ට මුහුණ දෙනු ඇති බව සඳහන්.
එසේම ශ්‍රී ලංකාව ශුද්ධ තෙල් ආනයනය කරන රටක් වීමත්, ගෝලීය නැව් ගාස්තු ඉහළ යාමත් නිසා මෙරට ආනයන බිල සැලකිය යුතු ආකාරයට ඉහළ යා හැකි අතර එය බලශක්ති සහ අනෙකුත් ක්ෂේත්රවල මිල ගණන් ඉහළ යාමට ද හේතු වනු ඇති බව පවසයි.
එමෙන්ම ගුවන් සීමා අවහිරතා හේතුවෙන් සංචාරක පැමිණීම්වල තාවකාලික පසුබෑමක් දක්නට ලැබුණද, විකල්ප ගුවන් මාර්ග හරහා එය යථා තත්ත්වයට පත් වනු ඇති බවට අපේක්ෂා කරයි.
එහෙත් ගෝලීය අවප්‍රමාණය වීම් හමුවේ ආයෝජකයින් ඇමරිකානු ඩොලරය කෙරෙහි වැඩි විශ්වාසයක් තැබීම හේතුවෙන් ශ්‍රී ලංකා රුපියල ඇතුළු නැගී එන වෙළඳපොළවල්වල මුදල් ඒකක දැඩි පීඩනයකට ලක්වනු ඇති බව වාර්තා වේ.
මේ අතර ලෝක වෙළඳපොළේ පවතින අවිනිශ්චිතතාවය සහ රක්ෂණ වාරික ඉහළ යාම නිසා බහාලුම් ප්‍රවාහන ගාස්තු (Freight rates) මේ වන විටත් ඉහළ ගොස් ඇති බව සඳහන්.
එය තෙල් ආනයනයට පමණක් නොව අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ද සෘජුවම බලපාන අතර ඉහළ යන තෙල් මිල, නැව් ගාස්තු සහ රුපියලේ අගය අඩුවීම යන කරුණු තුනම එක්වූ කල ආහාර, ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්රවල උද්ධමනය තවදුරටත් උග්‍ර වනු ඇතැයි විශ්ලේෂකයෝ අනාවැකි පළ කරයි.
තවද පවතින සාර්ව ආර්ථික පදනම සහ ආයෝජක විශ්වාසය මෙරටට යම් සහනයක් ලබා දුන්නත්, මැද පෙරදිග පවතින භූ දේශපාලනික ආතතිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ගමන් මඟට එල්ල වූ බරපතළ අවදානමක් වශයෙන් සලකයි.
ඒ අනුව මෙම අභියෝගාත්මක තත්ත්වයෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තීරණය වන්නේ, මැද පෙරදිග ගැටුම් පවතින කාලසීමාව, ගෝලීය තෙල් මිලෙහි චලනය සහ මෙරට වෙළඳපොළ කෙරෙහි ආයෝජකයින් දක්වන අඛණ්ඩ විශ්වාසය මත බව අඳාළ වාර්තාව වැඩිදුරටත් දක්වයි.