"ඩොලරය 250 වෙනවට අපි කැමතියි, මාලිමා රට භාරගත්තු දා සිට කොටස් වෙළඳපොළට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 10යි" - එස්.එම්. මරික්කාර්
ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගත් දා සිට කොළඹ කොටස් වෙළඳපොලට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 10 ක් පමණක් වන අතර එක ආයෝජකයෙක් ගෙන ඒමට ආණ්ඩුව හැකියාවක් ලැබී නැතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් පැවසුවේය.
ඊයේ(26) සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, රටේ ඩොලර් ආදායම ඉහළ නැංවීමට නම් විදේශ ආයෝජන ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය බවයි.
”ලබන වසරේ මාර්තු මාසයෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව අත්සන් කළ ගිවිසුම අවසන් වෙනවා. ඒ නිසා ආණ්ඩුවට ලබන වසරේ මාර්තු මාසයෙන් පසුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත ගිවිසුමක් ඇති කර ගැනීමට සිදුවෙනවා. කෙසේ නමුත් දීර්ඝ කාලීන ආදායම් ලබා ගැනීමට රටේ ජනතාව පීඩාවට පත් නොකළ යුතුයි. ඩොලර් ආදායම වැඩි කර ගැනීමට නම් ආයෝජන ගෙන ඒමට රජය වහාම කටයුතු කළ යුතුයි. කෙසේ නමුත් ආණ්ඩුවේ තක්කඩි වැඩපිළිවෙළ හේතුවෙන් ඩොලරයට සාපෙක්ෂව රුපියල රුපියලකින් අවප්‍රමාණය වුණොත් ණය බර බිලියන 40 කින් වැඩිවෙනවා.
ඩොලරයට සාපෙක්ෂව රුපියල රුපියල් 10 කින් අවප්‍රමාණය වුණොත් ණය බර බිලියන 400 කින් වැඩිවෙනවා. ඒ වගේම ආණ්ඩුව ජාතික ජන බලවේගය භාර ගන්නා විට ඩොලරය 292 ක් ලෙසයි පැවැතුනේ. මේ වනවිට ඩොලරය 336 ක් වෙනවා. ඒ අනුව ඩොලරය රුපියල් 44 කින් වැඩි වී තිබෙනවා. ඒ අනුව රටේ ණය බර රුපියල් බිලියන 1600 කින් පමණ වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම රුපියලට සාපෙක්ෂව ඩොලර් 250 ට පැමිණෙනවාට සමගි ජනබලවේගය කැමැතියි. නමුත් එය සිදුකරන්න ආණ්ඩුව හැකියාවක් නැහැ. ඒ වගේම ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගත් දා සිට කොළඹ කොටස් වෙළඳපොලට පැමිණ තිබෙන්නේ ඩොලර් මිලියන 10 ක් පමණයි. එක ආයෝජකයෙක් ගෙන ඒමට ආණ්ඩුව හැකියාවක් ලැබිලා නැහැ.
ඒ වගේම පවතින ආණ්ඩුවට වැඩ කටයුතු කරගෙන යාමට ඉඩ නොදුන්නේ වර්තමාන ආණ්ඩුවේ සිටින පිරිසයි. නමුත් සමගි ජනබලවේගය මෙම කාලය තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු වැඩ වර්ජනයක් සිදුකළේ නැහැ. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන්න සමගි ජනබලවේගය කටයුතු කරලා නැහැ. නමුත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළගස්වන්න ඉදිරියේදී සමගි ජනබලවේගය කටයුතු කරනු ලබනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි.
ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ පරිදි මාස 20 ක් ආණ්ඩුකරණය සිදුකර තිබෙනවාදැයි බලා ගැනීමට පළාත් සභා මැතිවරයෙන් හැකියාව තිබෙනවා. ඒ වගේම රටේ ජනතාවට පොහොසත් රටක් ලස්සන ජිවිතයක් ලැබී තිබෙනවාදැයි පරික්ෂා කර ගැනීමට පළාත් සභා මැතිවරණයෙන් හැකියාවක් තිබෙනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා රටේ ලේකම්වරයා නෙවෙයි. රටේ මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තිරණ කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වාට හැකියාවක් නැහැ. කෙසේ නමුත් පළාත් සභා මැතිවරණයට සමගි ජනබලවේගය ඕනෑම අවස්ථාවක සූදානම්. නමුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න බියක් දක්වනවා.”