සියල්ල මැද ලංකාවට තවත් රතු එළියක් - අවුරුදු 20කට පෙර තුරන් කළ මාරාන්තික රෝගයක් යළිත් හිස ඔසවයි
වසර විස්සකට පෙරාතුව මැලේරියා වසංගතය තුරන් කළ රටක් වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව නම් කර තිබුණත් සංචාරකයන් ඔස්සේ නැවත මෙරට මැලේරියා වසංගතය පැතිර යාමේ අවධානමක් මතුව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න පවසයි.
ඒ අනුව ලෝක මැලේරියා දිනය යෙදී ඇති අප්‍රේල් 25 වැනිදාට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (22) දින පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව කියා ඇත.
2016 වසරේදී මැලේරියාව රෝගය සම්පූර්ණයෙන්ම මෙරටින් තුරන් වී ගිය මුත් අප්‍රිකානු, ආසියානු හා වෙනත් රටවල සිට මෙරටට එන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් නැවත මෙරටට මැලේරියා වසංගතය ඇතුළත් වී ඇති බව ඇය සඳහන් කර තිබෙනවා.
ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි
ඒ අනුව වසරකට මැලේරියා රෝගීන් 40ක් පමණ මෙරටින් හමු වී ඇති බවත් මෙසේ හමු වූ රෝගීන්ගෙන් 95%ක්ම අප්‍රිකානු රටවල් සංචාරයට ගොස් නැවත මෙරටට පැමිණි අය බවත් ඇය පෙන්වා දී ඇත.
එබැවින් මැලේරියා පරපෝෂිත මදුරුවා මෙරටින් තුරන් කළත් වාහක මදුරුවන් මෙරට තුළ සිටින බැවින් මෙරටට ඇතුළත් වන මැලේරියා රෝගීන් ඔස්සේ නැවත මෙම වසංගතය මෙරට තුළ පැතිර යාමේ දැඩි අවධානමක් මතුව ඇති බව ඇය අවධාරණය කර ඇත.
එමෙන්ම මෙරටින් යළි හමු වී ඇති මැලේරියා වැලඳුන සංචාරකයන්ගෙන් 88%ක්ම විදෙස් සංචාරවලට ගොස් මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයන් බවද අනාවරණය වී ඇති බව සඳහන්. ඉන් 52%ක්ම බස්නාහිර පළාතේ පදිංචිකරුවන් වීම තවත් විශේෂත්වයක් වේ.
කෙසේ වෙතත් මීට පෙරාතුව මෙරට සිටියේ මැලේරියා පරපෝෂිතයන් දෙදෙනෙක් පමණ වුවත් සංචාරකයන් ඔස්සේ තවත් මැලේරියා පරපෝෂිතයන් පස්දෙනෙක් මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇත.
මේ අතර 1930 වසරේදී මෙරට තුළ පැතිර ගිය මැලේරියා වසංගතයෙන් ලක්ෂ පනහක් පමණ රෝගයට ගොදුරු වූ බවත් ඉන් 80,000ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් මියගිය බවත් ඇය පවසා ඇත.
ඒ අනුව නැවත මෙරට තුළ මැලේරියාව පැතිර යාම වැළැක්වීමට නම් ඒ පිළිබඳ දැනුවත් කිරීම් මෙන්ම මැලේරියාව ඇති රටවල සංචාරයට පෙර අදාළ ඖෂධ ලබාගැනීම අතිශය වැදගත් බවත් ඇය පෙන්වා දෙයි.
එසේම යම් හෙයකින් යළි මෙරට තුළ මැලේරියාව පැතිර ගියහොත් ළදරු මරණ, මාතෘ මරණ ඉහළ යාමටත් සංචාරක කර්මාන්තය මෙන්ම සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම එයින් ඉතා දරුණු ආකාරයේ බලපෑමක් එල්ල වන බවත් විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න පවසා ඇත.