ශූරතා තුනක් දිනූ මහේල මුම්බායි ඉන්දියන්ස් පුහුණුකාරිත්වයෙන් සමුගනී - අලුත් වෙනසකට සූදානම්

By Malith Madushan Oct 17, 2026 08:08 AM GMT
Report

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන, ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්ව තිබේ. ඔහු එම ධුරයෙන් ඉවත්වීම පිළිබඳව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (17) සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ නිවේදනය කර ඇත.

මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අවස්ථා දෙකකදී කටයුතු කළේය. 2017 සිට 2022 දක්වා පළමු වරට එම ධුරය දැරූ ඔහු, අනතුරුව 2024 සිට 2026 දක්වා නැවතත් එම වගකීම භාරගෙන තිබිණි.

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතා පහෙන් තුනක් දිනා ගැනීමට සමත් වී තිබේ. කෙසේ වෙතත්, ඔහු දෙවැනි වරට ප්‍රධාන පුහුණුකරු ධුරය දැරූ කාලයේදී කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

''ඉන්දියාවේදීම කොදෙව්වන් කුසලානය ඩැහැගනීවිද?'' - ශූරයන් තීරණය කරන අවසන් සටන අද

''ඉන්දියාවේදීම කොදෙව්වන් කුසලානය ඩැහැගනීවිද?'' - ශූරයන් තීරණය කරන අවසන් සටන අද

2024 තරගාවලියේදී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ මුම්බායි කණ්ඩායම, 2025 වසරේදී දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier 2) දක්වා පැමිණ තිබිණි. එහෙත් 2026 තරගාවලිය අවසන් කළේ නවවැනි ස්ථානයෙනි.

මහේල ජයවර්ධන සිය ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිය වෘත්තීය ජීවිතයේ විශේෂ ස්ථානයක් හිමිකර ගන්නා බවයි.

වසර ගණනාවක් පුරා තමන්ට සහාය ලබාදුන් කණ්ඩායම් කළමනාකාරීත්වයට, පුහුණු කාර්ය මණ්ඩලයට, ක්‍රීඩකයන්ට සහ රසිකයන්ට ද ඔහු ස්තුතිය පළ කර තිබේ.

ප්‍රධාන පුහුණුකරු ධුරයට අමතරව, මුම්බායි ඉන්දියන්ස් හි ගෝලීය දක්ෂතා කළමනාකරණ ප්‍රධානියා ලෙස ද මහේල කටයුතු කර තිබේ. එහිදී විවිධ රටවල පැවැත්වෙන ලීග් තරගාවලි තුළ මුම්බායි ඉන්දියන්ස් හි ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද ඔහු කටයුතු කර ඇත.

චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස පත්කෙරෙයි - ගංගුලි සහ යුවරාජ් සමඟ ලංකාවේ සිංහයා එකම කඳවුරකට

චමින්ද වාස් වේග පන්දු පුහුණුකරු ලෙස පත්කෙරෙයි - ගංගුලි සහ යුවරාජ් සමඟ ලංකාවේ සිංහයා එකම කඳවුරකට

ඔහු එම වගකීම දැරූ කාලය තුළ මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම, MI New York සහ MI Emirates යන කණ්ඩායම් ද ශූරතා දිනා ගැනීමට සමත් වී තිබේ.

මේ අතර, 2027 IPL තරගාවලියට පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යා වෙනත් කණ්ඩායමකට හුවමාරු කිරීම සම්බන්ධයෙන් ද එම කණ්ඩායම අවධානය යොමු කර ඇති බව NDTV වාර්තා කර තිබේ.

ඒ අනුව මහේලගේ ඉවත්වීමත් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ඉදිරි සැලසුම් පිළිබඳව ද අවධානය යොමුව ඇත.

වෛභව් සූර්යවංශිට අවස්ථාව නොදීම ගැන ඉන්දීය කළමනාකාරිත්වයට විවේචන

වෛභව් සූර්යවංශිට අවස්ථාව නොදීම ගැන ඉන්දීය කළමනාකාරිත්වයට විවේචන