අත්අඩංගුවට ගත් මහසොහොන් කලූ නැමති අකුරේගොඩ ඝාතකයා තවත් ඝාතන 10කට වැඩිය කරලා - රහස් එළියට
අකුරේගොඩ සුපිරිවෙළෙදසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති ගෝනපීනුවලගේ සුනිල් රංජිත් හෙවත් මහසොහොන් කලූ නැමැති වෙඩික්කරු මීට පෙර මනුෂ්‍ය ඝාතන 10 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති බවට විමර්ශනවල දී හෙළි ව ඇත.
ඒ අනුව මේ වනවිට දින 90 ක රැඳවුම් නියෝග මත බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේ භාරව සිටින මහසොහොන් කලූ නමැති අඳාළ සැකකරු නීිතිඥවරයා ඝාතනය සහ සෙසු ඝාතන සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.
එසේම නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පෙර දිනයේ සැකකරු ගිනි අවි පරීක්ෂා කළ බව කියන කොටිකාවත්තේ දෙමහල් නිවස ද, විශේෂ පොලිස් කණ්ඩායමක් මඟින් පරික්ෂා කිරීමට නියමිත බව වාර්තා වේ.
එසේ කොටිකාවත්තේ දෙමහල් නිවසකදී ගිනි අවි පරීක්ෂා කළ සැකකරු අනතුරුව පන්නිපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලකට පැමිණ ඇත.
එම ස්ථානයේදී කරන්දෙණියේ සුද්දාගේ සමීපතමයෙකු මාර්ගයෙන් මොහුට අයිස් මත්ද්‍රව්‍ය සහ රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.
දිගු කාලයක් තිස්සේ කරන්දෙණිය සුද්දා මෙම සැකකරු සමඟ සමීප සබඳතාවක් පවත්වා ඇති අතර මොහු මීට පෙර කිසියම් අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇප නියමවූ විටදී එම ඇප මුදල ද ගෙවා ඇත්තේ කරන්දෙණියේ සුද්දා විසින් බව අනාවරණය වී ඇත.
එමෙන්ම ඝාතනය සිදුවූ දිනයේ ද කරන්දෙණිය සුද්දා මඟින් මහසොහොන් කලූ නමැති මෙම සැකකරුට දුරකතන ඇමතුම් කිහිපයක් ලබාදී ඇති බවට විශ්ලේෂණ වාර්තා මඟින් තහවුරු වී තිබෙන බව සඳහන්.
එසේම බද්දේගම පදිංචි 46 හැවිරිදි මෙම සැකකරු හිටපු යුධ හමුදා සෙබළෙකු වන අතර 2009 වර්ෂයේ ලබාදුන් පොදු සමා කාලය තුල නීත්‍යානුකූලව යුධ හමුදාවෙන් ඉවත්වූ අයෙක් බවත් පවසයි.