ප්‍රදේශයම භීතියට පත් කරමින් ගිං ගගේ පා වෙමින් ආ මළ සිරුරේ සුළ මුල හෙළිවේ - ඇගේ කොටපු පච්චෙන් සියල්ල මාට්ටු
දෑත් සහ දෙපා කොන්ක්‍රීට් කණුවක තදින් ගැටගසා ගිං ගඟට දමා තිබියදී හමුවූ පිරිමි මළ සිරුර ලොකු පැටී නැමැති ප්‍රකට සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධානතම වෙඩික්කරු වන අල්මේදා නැමැත්තාගේ බව පොලීසිය නිල වශයෙන් පවසයි.
අදාළ මළ සිරුර ගිං ගඟේ පාවෙමින් තිබියදී ඉකුත් 23 වනදා රාත්‍රී කාලයේදී පෝද්දල පොලීසිය විසින් සොයාගනු ලැබීය.
සොයාගන්නා අවස්ථාවේදී මළ සිරුරේ හිස ප්‍රදේශයට දැඩි හානි සිදුව තිබීම හේතුවෙන් එය මූලිකව හඳුනාගැනීමට සම්පූර්ණයෙන්ම නොහැකි වූ අතර පසුව පොලීසිය විසින් සිදුකළ දීර්ඝ සොයාබැලීම් සහ විමර්ශනවලදි අනාවරණ වී තිබුණේ එය අහුංගල්ල ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවකු වන විරාජ් රෂ්මික ද සොයිසා හෙවත් අල්මේදා නැමැත්තාගේ සිරුර බවයි.
එම මියගිය පුද්ගලයා සමඟ කලක් සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාවක් විසින් ඔහුගේ සිරුරෙහි කොටා තිබූ සුවිශේෂී පච්චා සලකුණු මඟින් මෙම මළ සිරුර නිවැරදිව හඳුනාගනු ලැබූ බව පොලීසිය පවසයි.
එම පුද්ගලයාගේ මව්පියන් ද පසුව මෘත ශරීරය අල්මේදාගේ බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් පොලිසියට පවසා ඇත්තේ වසර 4 ක පමණ කාලයක සිට ඔහු සමඟ තමන් කිසිඳු පවුල් සබඳතාවක් පවත්වා නොමැති බවයි.
මෙම මියගිය තැනැත්තා ලොකු පැටී නැමැති රටින් පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුගේ මෙරට සිටින ප්‍රධානතම වෙඩික්කරු බව විශේෂ පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අතර පොලීසිය වැඩිදුරටත් පැවසූවේ ත්‍රිකුණාමලය අහුංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල ලොකු පැටී නැමැති අපරාධකරුගේ සෘජු මෙහෙයවීමෙන් මීට පෙර සිදුකළ මනුෂ්‍ය ඝාතන 3 කදීම ප්‍රධාන වෙඩික්කරු ලෙස සාපරාධී ලෙස කටයුතු කර ඇත්තේ ද මොහු බවයි.
මීට පෙර අවස්ථාවකදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13 කට අධික අතිවිශාල ප්‍රමාණයක් සමඟ ආරක්ෂක අංශ විසින් මෙම සැකකරුවාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද අධිකරණ රැසක චෝදනා පවතී.
ඔහු දිගු කලක් තිස්සේ පොලීසිය මඟහරිමින් රහසිගතව සැඟව සිට ඇති අතර පාතාලයේ ප්‍රතිවිරුද්ධ කල්ලියක් වන කරන්දෙණියේ සුද්දාගේ පාර්ශ්වයට ද ඔහු දැඩි ජීවිත තර්ජනයක් වී සිටි බව ද වාර්තා වෙයි.
දේහය පිළිබඳව පවත්වන ලද නිල පශ්චාත් මරණ පරීක්ෂණයේදී වෛද්‍යවරුන් හෙළි කර ඇත්තේ කිසියම් තියුණු ආයුධයකින් ගෙල ප්‍රදේශයට තදින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.