කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට පිළිගන්නයැයි ලොකු බලපෑමක් කරලා - ගම්වාසීන්ගෙන් චෝදනා
කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් දෙදෙනාට වරද පිළිගන්නා ලෙස වනජීවී නිලධාරීන් බලපෑම් කර ඇති බවට ගල්ගමුව, හුනුගල්ලෑව ප්රදේශවාසීහු චෝදනා කරති.
විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගම්වාසීන් පෙන්වා දුන්නේ, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට අපරාධය භාරගන්නා ලෙස වනජීවී නිලධාරීන් විසින් බලපෑම් එල්ල කර ඇති බවයි.
මෙම අත්අඩංගුවට ගැනීම සාධාරණ නොවන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා සාධාරණ විමර්ශනයක් පවත්වන ලෙසත් ප්රදේශවාසීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
''මේ වනවිට කාවන්තිස්ස හාස්තියාගේ මරණය සම්බන්ධව චෝදනාවට ලක්වෙලා සිරගත කර, රක්ෂිත බන්ධනාගාරගත කරලා ඉන්න අවුරුදු විසිහයක් පුරාවට අපි ඉතාමත් හොඳින් දන්නා හඳුනන පිරිසක්. මේ කාල පරිච්ඡේදය තුළ මේ ඇත්තෝ සත්ව ඝාතනයන්ට සම්බන්ධ වෙලා තියෙනව, අවම වශයෙන් වැවක මාළුවෙක් අල්ලන්න හරි සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට කිසිම ආරංචියක් නෑ. මේ චෝදනාවොත් ඔප්පු කරන්න බැරිවීම හේතු කොටගෙන විවිධ අය අල්ලස් ලබාදීලා, මේ ඇත්තන්ට විරුද්ධව විවිධ ප්රකාශ ඇතුමුන්ගෙන් ලබාගන්න උත්සාහ කරන බව අපිට ආරංචි වෙනවා. මේ ඇත්තන්ට නීතිය හමුවේ සාධාරණත්වයක් ඉටුවෙන්න ඕනේ. ඒ වගේම සාධාරණ පරීක්ෂණයක් මේ වෙනුවෙන් ඉටුවෙන්න ඕනේ'' ''පසුගිය සතියේ අපේ ගමේ බලපත්ර සහිත තුවක්කු තියෙන සියලු දෙනාම ඇවිල්ලා, නන්නාඳුන පිරිසක් විසි අරගෙන ගිහිල්ලා තියෙනවා. අරගෙන යන ගමන් තමයි පහර දීලා තියෙන්නේ. ඊටපස්සේ අපි මේ පුද්ගලයෝ කොහෙද අරන් ගියේ කියලා හොයනකොට, රෑ නවයට විතර ගල්ගමුව වනජීවී එකේ ඉන්නව කියලා ආරංචියට අපි ගමේ කට්ටිය ගියා.
ගියාට පස්සේ කතා කරා. මොකද එතන හිටපු ප්රධාන නිලධාරියත් එක්ක මේ පුද්ගලයා ඇයි රැගෙන ආවේ? එතකොට කිව්වා මෙයාලා තමයි කාවන්තිස්සට වෙඩි තියලා තියෙන්නේ. මේක ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා මේ කට්ටිය අරන් ආවා. ඊටපස්සෙ අපි ඇහුවා ගම්වාසීන් විදිහට, මේක ඇයි එයාලා කරා කියන්නේ මොනවද තියෙන සාක්ෂි? ඔහොම ටික වෙලාවක් ඉන්නකොට එම පුද්ගලයා මට කිව්වා, මේක මල්ලි ඔයා་ ගිහින් කියන්න ඔයාලගේ කට්ටියට මේක බාරගන්න කියලා.
මේක මම විසඳන්නේ, බාරගත්තා කියලා කිව්වොත් රුපියල් ලක්ෂයක විතර වගේ දඩයක් උසාවියෙන් නියෝග කරයි . ඒක ගෙවලා මේක ගොඩින් ඉවර කරන්න පුළුවන් කියලා . දැන් අපි ගමක් වශයෙන් මාර විදිහට අසරණ වෙලා ඉන්නේ. දැන් මේ ගම බය වෙලා ඉන්නේ. මොකද නන්නාඳුන පිරිසක් තමා ඇවිල්ලා, සමහර කට්ටිය බලෙන් සල්ලි දීලා බලෙන් කට උත්තර දෙන්න කියලා යනවා. ඒ වගේ තත්ත්වයකට ඇවිල්ලා තියෙන්නේ. දඬුවම දෙන්න ඕනේ හරි පුද්ගලයා වෙනුවට අසරණ පිරිසක් අරන් ගිහිල්ලා මේ කරන වැඩේ වැරදියි කියන එක තමයි අපි කියන්නේ.