දිවයිනේ පළාත් පාලන ආයතන 341ම ඩිජිටල්කරණට පියවර
මහා නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රදේශීය සභා 276ක් වන මෙරට පළාත් පාලන 341ම සේවා සැපයීම් හා ගෙවීම් මාර්ගගත ක‍්‍රම ඔස්සේ සිදුකිරීමට හැකි ආයතන තත්ත්වයට පත්කිරීම සඳහා වන ඩිජිටල්කරණ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වනවා.
ඒ වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙළ අනුව යමින්.
එම වැඩසටහන වඩා වේගවත් කිරීමටත් එම පහසුකම් දෝෂ රහිත, වඩා පහසු, ඉක්මන් හා ලාභදායී සේවාවන් ලෙස ජනතාවට සමීප කිරීමටත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (20) කොළඹ, යූනියන් පෙදෙස, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණා.
ඒ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.
බදු ගෙවීම්, සේවා ලබාගැනීම සඳහා සිදුකරන වෙන්කරවා ගැනීම්, ජල බිල්පත් ගෙවීම්, බලපත‍්‍ර හා සහතික ලබාගැනීම්, වීදි ලාම්පු නඩත්තුව හා කළමනාකරණය, රථ ගාල් වෙත සිදුකරන ගෙවීම්, පැමිණිලි යොමු කිරීම් ආදී සියලූ සේවා හා ගෙවීම් පළාත් පාලන ආයතන වෙත පැමිණීමකින් තොරව සිදු කරගැනීමට හැකිවන තත්ත්වයට පත්කිරීම මෙහි අපේක්ෂාවයි.
එමෙන්ම පළාත් පාලන ආයතනයන්හි සිදුවන නාස්තිය, දූෂණය අවම කිරීමත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල හරහා සිදුවනවා. නෝට්ටු හා කාසි භාවිතය අවම කරගනිමින් වැඩි වශයෙන් ඩිජිටල් පද්ධති හරහා ගනුදෙනු කිරීම මගින් එක් රැස්වන දත්ත ඔස්සේ ආර්ථිකය චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබීම රටක් ලෙස ඉදිරි සැලසුම් කිරීම් හා තීරණ ගැනීම් සඳහා ද විශාල සහායක්.
පළාත් පාලන ආයතන වෙත කිසිඳු වියදම් දැරීමකින් තොරව මෙම පහසුකම් ලබාදී සියලූම පළාත් පාලන ආයතන මධ්‍යගත හා ඒකාබද්ධ වූ පද්ධතියකට එක් කරගැනීමට හැකියාව ලැබෙනවා.
ඒ එක් එක් පළාත් පාලන ආයතන වෙන් වෙන් වශයෙන් විවිධ තාක්ෂණික විසඳුම් මේ වෙනුවෙන් නිර්මාණය කරගෙන තිබුණ ද මේ වන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින්, කිසිදු රාජ්‍ය නොවන බාහිර පාර්ශ්වයක් සමග සම්බන්ධ නොවී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට හැකිවී ඇති නිසාවෙනුයි.
එමෙන්ම මීට පෙර පළාත් පාලන ආයතන සියල්ලම එකට එකතු කරගනිමින් ක්‍රියාත්මක වූ පොදු වැඩපිළිවෙලක් නොතිබීම නිසාත් පළාත් පාලන ආයතන මධ්‍යගත හා ඒකාබද්ධ වූ පද්ධතියකට එක් කරගැනීමට හැකිවී තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව දිරිගැන්වීමේ ත්‍යාග හා ප්‍රතිලාභ සහිත ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ශ‍්‍රී ධනපාල ඇතුළු අමාත්‍යාංශ ද්විත්වයේම නිලධාරී මහත්ම මහත්මීන්, ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ හා ලංකා පේ නියෝජිත මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්වුණා.