සුදුවෙන්න ඔබත් උජාරුවෙන් ගාන පිළිකා ක්‍රීම් ගැන ඔබ දැනුවත් ද?
‘කිරි දියෙන් සෝදුවත් අඟුරු සුදු වන්නේ නැත.’ මේ කියමන ටිකක් විහිළුවට කියන වාක්‍යයක්. යමෙක් ෆේස්වොෂ් එකක්වත් ගානවා දැක්කොත් අපි මේක විහිළුවට කියනවා.
ඒකෙන් කියන්නේ, කොතරම් කිරි යොදා සෝදුවත් අඟුරු කිසිදා සුදු වන්නේ නැති බවයි.
නමුත් මේ තේරුම කීදෙනෙකුට තේරෙනවාද? එහෙම නොතේරෙන අයව ලේසියෙන්ම රවට්ටන්න පුළුවන් නිසා තමයි ‘බ්ලීචින් ක්‍රීම්’ වර්ග ලෝකයේ ජනප්‍රිය වෙලා යන්නේ.
ලංකාවේ තවමත් මේ සුදු වෙන බ්ලීචින් ක්‍රීම්වලට හොඳ වෙළඳපොළක් තිබුණත්, අපට වඩා සංවර්ධිත රටවල් වන ඇමෙරිකාව වැනි රටවල බ්ලීච් අඩංගු නිෂ්පාදන සම්පූර්ණයෙන් තහනම්. අපේ අම්මලාගේ කාලේ, බ්ලීචින් පවුඩර් ගත්තේ කහ පැහැ ගැහුණු සුදු ඇඳුම් ආයෙත් සුදු කරන්න. පාට ඇඳුම්වලට කවදාවත් බ්ලීචින් යෙදුවේ නැහැ, මොකද එහි තිබෙන රසායනික බලයෙන් ඕනෑම වර්ණයක් ඉවත් වෙනවා. බ්ලීචින් භාවිතයේදී අත්වැසුම් පවා පැළඳුවේ එහි තිබෙන සැර බව නිසා.
ඒ විතරක් නෙවෙයි, බ්ලීචින් පවුඩර් භාවිතා කළේ ටොයිලට් පිරිසිදු කිරීමට, පොළවේ දිය සෙවල ඉවත් කිරීමට වගේ දේවලටත්. එවැනි බ්ලීචින් අඩංගු ක්‍රීම් තමයි දැන් ගැහැනු පිරිමි ඉක්මනින් සුදු වෙන්න හිතාගෙන මිලදී ගෙන මුහුණේ ගාන්නේ. ස්වභාවික හම පැහැපත් කිරීම සහ මෙලනින් වර්ණක ඉවත් කර කෘත්‍රිම පාටක් ලබා ගැනීම එකම දේ නෙවෙයි.
දැන් ෆේස්බුක්, ටික්ටොක් වැනි තැන්වල බලනකොට, මේ බ්ලීචින් ක්‍රීම් ගාලා සුදු වුණු පිරිමිත් වීඩියෝ දමමින් ඒවා අනිත් අයට ප්‍රචාරය කරනවා. ඉතින්, බුද්ධිමත් කීපදෙනෙකු හැරුණු විට බොහෝ දෙනෙක් මේ වංචනික ව්‍යාපාරයට ලේසියෙන් හසු වෙලා එය දියුණු කිරීමට උදව් කරනවා. බ්ලීචින්වල අඩංගු වන්නේ කැල්සියම් හයිපොක්ලෝරයිට් වැනි අකාබනික සංයෝගයකි.
මෙය දිගු කලක් භාවිතයෙන් හමට, ඇස්වලට හානි කරනවා. එසේම, පිළිකා අවදානමක් ඇති වීමේ ප්රවණතාවත් ඉහළයි. නමුත්, ‘දුම්පානය පිළිකා ඇති කරයි’ කියලා සිගරට් පැකට්වල ලියලා තිබුණත් දිනකට සිගරට් කිහිපයක් බොන අය ඉන්න රටක, මේ බ්ලීචින් ක්‍රීම් ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.
බ්ලීචින්වල අතුරු ආබාධ අතර හිසරදය, ශ්‍රවණාබාධ, අක්‍රමවත් සිතුවිලි, වකුගඩු හානි, සහ බරපතල අවස්ථාවල මරණයත් ඇතුළත්. ඒත්, මේවා ලස්සන ඇසුරුමක එන නිසා ඒවා නිෂ්පාදනය කරන ව්‍යාපාරිකයන්ට බය වෙන්න දෙයක් නැහැ. සුදු වෙන්න හිතාගෙන මේ ක්‍රීම් ගානවාට වඩා, එයින් ඇතිවන හානි හදාගන්න ඊටත් වැඩිය මුදලක් වැය වෙන්න පුළුවන්.
එවැනි නිෂ්පාදන දැක්කම ‘ලැට් බාල්දිවල හදපු ක්‍රීම්’ කියලා මිනිස්සු කමෙන්ට් කරන්නේ හේතුවකින්. ක්‍රීම් එකක් ගන්නවා නම්, එහි අඩංගු ද්‍රව්‍ය ගැන හොඳින් සොයා බලන්න. සමහර නිෂ්පාදනවල රසායනික ද්‍රව්‍ය තිබුණත්, ඒවා ලැයිස්තුවෙන් ඉවත් කරනවා.
හයිඩ්රොක්විනෝන් (Hydroquinone) වැනි ද්‍රව්‍යක් ලැයිස්තුවේ තිබේ නම්, ඒක බ්ලීචින් අඩංගු ක්‍රීම් එකක් වීමේ ඉඩකඩ ඉතා ඉහළයි. ඔබ ගත්තු ක්‍රීම් එක ගෑමෙන් පසු හම ඉක්මනින් සුදු වෙනවා නම්, එය රසදිය, ඇල්ෆා හයිඩ්රොක්සි ඇසිඩ්, සහ විවිධ අම්ල ඇතුළත් පිළිකාකාරක ක්‍රීම් එකක් විය හැකියි. ගුණාත්මක ක්‍රීම්වලට එසේ ඉක්මන් ප්‍රතිඵල දිය නොහැකි බව සලකන්න.
