කටුනායකින් ඇරඹෙන ගුවන් ගමන් ගැන අලුත්ම තත්ත්වය මෙන්න
මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් කලාපය හැර අනෙකුත් සියලු ගුවන් ගමන් ආරම්භ කර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් කලාපය හැර අනෙකුත් සියලු ගුවන් ගමන් ආරම්භ කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (02) පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඇතැම් ගුවන් කලාප සීමිත ගුවන්වාර සඳහා පමණක් විවෘත කර ඇති බවයි. ඒ අනුව මැදපෙරදිග සඳහා යන එන සියලු ගුවන් ගමන් අද රාත්‍රී 12 දක්වා අවලංගු කර ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා, අද රාත්‍රියෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ තීරණය කරන බවද පැවසීය.
මේ අතර, යුදමය තත්ත්වය තුළ විවිධ ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ඉතා ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදුකරමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, ලංකාවෙන් පිටව යෑමට සිටි ගුවන් මගීන්ගේ වීසා ඇතුළු අනෙකුත් කටයුතු සලසා දීමෙන් ඔවුන්ට ලංකාව තුළ තවදුරටත් රැඳී සිටීමට අදාළ පහසුකම් සපයා දී ඇතැයි ද සඳහන් කළේය. මෙම පහසුකම් යටතේ තානාපති මණ්ඩල හරහා සංචාරකයින්ගේ වීසා දීර්ඝ කිරීම් සහ ආවාස සැලසුම් කිරීම් සිදු කරමින් සිටින බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
එමෙන්ම, දැනට ලංකාවට පැමිණෙන්න නියමිතව තිබූ නැව්වලට බාධා ඇති වී නොමැති බවත්, නැව් කිහිපයක් කොළඹ සහ හම්බන්තොට වරායවලට පැමිණීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සුදානම් බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත. මැදපෙරදිග ගැටුම තුළ ඉන්ධන සැපයුම් නැව්වලට බලපෑම් ඇති විය හැකි බැවින්, වරාය අධිකාරිය සමඟ සම්බන්ධීකරණයෙන් ආරක්ෂාකාරී මාර්ග ඔස්සේ නැව්ගත කිරීම් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.
මෙම තත්ත්වය මැදපෙරදිග ගැටුම තවදුරටත් උත්සන්න වෙමින් පවතින පසුබිමක සිදු වූ අතර, ගුවන් සේවාවන් සහ වරාය කටයුතු සමීපව නිරීක්ෂණය කරමින් ජාත්‍යන්තර ගුවන් සේවා ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමට රජය ක්‍රියාත්මක වෙමින් සිටී. මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගුවන් ගමන් සම්බන්ධයෙන් නිල නිවේදන අනුගමනය කරමින් සංයමයෙන් කටයුතු කරන ලෙසයි.