"රාජ්‍ය සේවය විතරක් නෙවෙයි දේශපාලනයත් කඩන් වැටුණා" - ලාල් කාන්ත
ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක පත්වීම් ලිපි ප්රදානෝත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.
මෙවර පැවැති විභාගයට සහභාගී වූ 570 දෙනා අතරින් 71 දෙනෙකුට මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරු සඳහා පත්වීම් ලිපි මෙහිදී ප්රදානය කෙරිණි. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම පත්වීම් ලබාදීම සිදු කර ඇති අතර, පවතින පුරප්පාඩු අනුව ඔවුන් අදාළ ප්‍රදේශවලට අනුයුක්ත කිරීමට නියමිතය.
උත්සවයේදී අදහස් දක්වමින් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය සහ ජනතා විශ්වාසය යළි ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.
රාජ්‍ය සේවය පිළිබඳව ජනතා ගෞරවය කලින් තිබූ තත්ත්වයෙන් පහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය යළි ශක්තිමත් කිරීම රාජ්‍ය සේවකයන්ගේ වගකීමක් බවද අවධාරණය කළේය.
තවද, රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව, වෙලාවට වැඩ කිරීම සහ ජනතාවට සෘජු සේවාව සැපයීම වැඩිදියුණු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.
පත්වීම් ලබාදීමේදී දේශපාලන මැදිහත්වීම් සිදු නොකළ බවද ඔහු පෙන්වා දුන් අතර, සුදුස්සාට සුදුසු තැන ලබාදීම මූලික ප්‍රතිපත්තිය ලෙස ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සර්වේයර් ජනරාල් පී.කේ.එල්.එස්. පඩුවාවල මහත්මිය ඇතුළු මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පත්වීම්ලාභීහු සහභාගී වූහ.