දිවිනසාගත් අම්ෂිකාගේ පාසලේ CCTV දර්ශණ එළියට - ගුරුවරයා අධිකරණයට
කොටහේන ප්‍රදේශයේදී ගොඩනැගිල්ලකින් පැන සිය දිවි නසාගත් "අම්ෂිකා" නම් පාසල් දැරියට අපයෝජනය කළ බවට චෝදනා එල්ලවී ඇති ගුරුවරයා සේවය කළ පාසලේ ආරක්ෂක කැමරා පටිගත දර්ශන සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් ලබා ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
මෙම නියෝගය නිකුත් කළේ උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
ඒ අනුව, අදාළ ආරක්ෂක කැමරා පටිගත වාර්තා අඩංගු DVR (Digital Video Recorder) යන්ත්‍රය මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කර, විශේෂඥ වාර්තාවක් ලබා ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.
මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් පැවසූවේ, DVR යන්ත්‍රය මීට පෙර වෙනත් විමර්ශනයක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ගෙන ගොස් ඇති බවත්, එම අවස්ථාවේදී DVR යන්ත්‍රයේ ඇතැම් පටිගත දර්ශන මකා දැමීමක් සිදුවී ඇති විය හැකි බවට සැකයක් පවතින බවත්ය.
ඒ අනුව, DVR යන්ත්‍රයේ වත්මන් තත්ත්වය සහ ඉවත්කර ඇති දත්ත පිළිබඳව විශේෂඥ පරීක්ෂණයක් අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දන්වා තිබුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණු ගුරුවරයාද ඊයේ දිනයේදී අධිකරණය හමුවේ පැමිණිම සිදු කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වුණේ, 2024 අප්‍රේල් 29 වැනිදා කොටහේන ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක 7වැනි මහලක සිට පැන පාසල් දැරියක් සියදිවි නසාගත්තේ යැයිය.
මෙම සිද්ධියට අදාළව පොලිසිය වත්මන්දී තවදුරටත් පුළුල් විමර්ශනයක් සිදු කරමින් පවතී. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා, නඩුව නැවත කැඳවීමට 2025 ජූලි 28 වැනිදා ලෙස නියම කළ අතර, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය සඳහන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උතුරු කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළේය.
