කාවන්තිස්සගේ මරණය ස්වාභාවික එකක් නෙමෙයි- ඒක සංවිධානාත්මක ඝාතනයක් පරිසරවේදී නයනක රන්වැල්ලගෙන් රටම හඬවන හෙළිදරව්ව
ශ්රී ලංකාවේ ජාතික සම්පතක් බඳු වූ 'කාවන්තිස්ස' හස්තියාගේ මරණය හුදෙක් ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවත්, ඊට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් විරහිතභාව බව පරිසරවේදී නයනක රන්වැල්ල මහතා චෝදනා කර තිබේ .
එතුමා සදහන් කළේ හස්තියාට වෙඩිතැබූ දිනය මෙන්ම ප්රදේශය පිළිබඳව පැහැදිලි තොරතුරු තිබියදීත්, ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බවයි.
එමෙන්ම හස්තියා නිද්රාශීලී කළ අවස්ථාවේ ශරීරයේ පැවැති හඳුනානොගත් තුවාල සහ කැළැල් පිළිබඳව නිසි පරිදි ස්කෑන් පරීක්ෂණ පවා සිදුකර තිබේ.
'කාවන්තිස්ස' හස්තියාගේ මරණය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් කළ නයනක රන්වැල්ල මහතා සදහන් කළේ මෙවන් අදහසක්
"කාවන්තිස්ස ඇතා මිය ගිය පුවත ලෝකය පුරා හදවත් කම්පාකරමින් ගලා යමින් තිබෙනවා. බොහෝ දෙනෙක්ගේ නෙත් කඳුළින් තෙත් වෙච්ච අවස්ථාවක්. ජාති, ආගම්, කුල කිසිවක භේදයකින් තොරව ලෝකයේම ඉන්න පරිසර හිතකාමී සියලු දෙනාගේ හදවත් අඬන අවස්ථාවක්. කාවන්තිස්ස ඇතා මියයාම අපි දකින්නේ ඝාතනයක් හැටියට. පාර්ශ්ව දෙකක් දකිනවා සෘජුව. එක පාර්ශවයක් තමයි මේ ඇතාට වෙඩි තියපු පාර්ශවය. අද වෙනකන් ඒ පාර්ශවය අත්අඩංගුවට ගැනීම සිද්ධ කළේ නැහැ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒක හිතාමතා වංචනිකව මගඇරපු ස්වරූපයක් අපිට පේනවා . මෙයාට වෙඩි තියපු දිනය දන්නවා. ප්රදේශය දන්නවා. එවැනි ඉතාම සුළු කුලකයකට ඒ සියල්ල කොටුවෙලා, ලඝු වෙලා තියෙද්දී ඇයි වනජීවීය නීතිය ක්රියාත්මක නොකරන්නේ.ඒ හරහා මේ ඝාතකයෝ තවමත් නිදැල්ලේ ඉන්නවා. මේ ඝාතනයට ඔවුන් වගකිනන් ඕන. අනෙක් ඝාතක පිරිස තමයි මේ ඇතාට ප්රතිකාර කරන මුවාවෙන් ඇතාව මරණය දක්වා වේගයෙන් රැගෙන ගිය වනජීවී පශු වෛද්ය කණ්ඩායම. මේ ඇතාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ වෙමින් තියෙනවා. ඒක අපි විශ්වාස කරනවා ස්වාධීන පර්ශ්වයකට දීලා අවංකව කරයි කියලා. තමන්ගේ පශු වෛද්යවරුන්ව රකින්න වංචනික විදිහට ඉදිරිපත් කරයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් හරහාත් ඒකෙ කටයුතු සොයා බැලීම සිද්ධ කළ යුතුයි කියලා. ඇයි අපි වනජීවී ඝාතකයන් කියලා හඳුන්වන්නේ. අලින්ගේ ආහාර ජීර්ණ පද්ධතිය එතරම් සංකීර්ණ එකක් නෙමෙයි. ඒක ඉතාම සරළ තනි ආමාශයකින් සැදුම්ලත් කොට්ඨාශයක් තියෙන්නේ. මේ ආහාර ජීර්ණ පද්ධතියෙන් කරන්නේ ඔවුන් ආහාරයට ගන්නා සමස්ත ආහාරවලින් 60%ක් අතර ප්රමාණයක්. ඉතුරුවා ජීර්ණය නොවීම ශරීරයෙන් බැහැර වෙනවා. මේ ආහාර ජීර්ණය සිද්ධ කරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තුල ඉන්න හිතකර බැක්ටීරියාවන්. ඒ බැක්ටීරියාවන්ගේ ක්රියාකලාපය නැති වුනොත් ආහාර ජීර්ණය සම්පූර්ණයෙන්ම නතර වෙනවා. නමුත් ඇන්ටිබයිටික් අධිමාත්රාවකින් ලබාදීම හන්දා මේ සතාගේ ආමාශයේ හිටපු හිතකර බැක්ටීරියා සියල්ල මියගියා කියන උපකල්පනයට මේ වනවිට ඇවිල්ලා තියෙනවා. ඒ හරහා තමයි මෙයාට බඩඑළිය යාමක් වාර්තා වෙන්නේ. එතකොට එයාගේ ආමාශයට ආහාර ගන්න බැහැ.
ඒ ආහාර ගත්තට වැඩක් නැහැ. ඒවා ජීර්ණය කර ගැනීමේ හැකියාව නැහැ. එතකොට ඒ හරහා තමයි මෙයාගේ ශරීරයේ විවිධ ඉන්ද්රියන් අකර්මණ්යවීම ආරම්භ වෙන්නේ. ඒ වගේම මෙයාගේ හදුනා නොගත් තුවාල කැළැල් කිහිපයක් සහ තුවාල හමුවෙලා තියෙනවා. ඒවා අර නිදි ගැන්වූ අවස්ථාවේ ඒවා හදුනා ගැනීමේ හැකියාව තිබුණා. හැබැයි ස්කෑන් පරීක්ෂාව සිද්ධ කළේ නැහැ. අපි ඒක කලින් පූර්ව වශයෙන් දැනුම් දීලා තිබියදීත්. ඒ මොහොතේ භෞතිකව හරි ඒ තුවාල කැළැල් සොයාගැනීමට මේ පශු වෛද්ය කණ්ඩායම අපොහොසත් වුණා. ඒ තුවාල කැළැල් ඊට පස්සේ නම් වෙඩි තිබ්බේ මේ ඇතා නිරීක්ෂණය කරලා ආරක්ෂා කරන්න කියලා අපි දැනුම් දුන්නා වෙඩික්කරුවන්ගෙන්. ඇත්තු සහ අලි මෙයාව ආරක්ෂා කරන්න උත්සාහ කළත් වනජීවී දෙපාර්තමේන්තුව හිතාමතා වංචනිකව සංවිධානාත්මකව මෙයාව පසු විපරම් කරන එක නතර කරලා තිබ්බා. දෙවෙනි වෙඩිල්ල වැදුණා නම් වැදුනේ ඒ අතර කාලය තුළ. ඒක හන්දා අපි දකිනවා ඒ පළවෙනි අවස්ථාවෙම වෙඩි තිබ්බා නම් ඒකත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් ඇත්තටම උණ්ඩය මොකක්ද, තුවක්කුව මොකක්ද, ඒකේ බටේ ප්රමාණය මොකක්ද? සහ ඒක වැදුණේ කොයි දවසේද කියන එක නිවැරදිව හොයාගන්න පුළුවන්. මෙම කරුණු අනුව මේ ඇතාගේ මරණයට ප්රතිජීව ලබාදුන්නු වෛද්ය කණ්ඩායම ඒ වගකීම දරාගන්න ඕනේ. මීට කලින් හිටපු සියඹලන්ගමුවේ මහ ඇතා වාහනයක ගෙනියද්දි වැටුණා. වනජීවී එකෙන් අපේ විරෝධය මත රැගෙන යද්දී ඒ ඇතා මියගියා. ඒ ලේ ගෑවිච්ච වනජීවී එකේ ඒ මස්වැද්දොම තමයි නැවත වතාවක් මේ ඇවිල්ලත් මේ දේත් කළේ. ඉතාම හොඳ නිලධාරීන් ඉන්නවා වනජීවී දෙපාර්තමේන්තුවේ. ඒ අයට අපි හිසනමා ආචාර කරන ගමන් මේ තක්කඩි පිරිස නීතිය ඉදිරි ගෙනල්ලා ඔවුන්ට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. රටක් බලන් ඉන්නවා මේක සම්බන්ධයෙන්. ජනාධිපතිවරයාට අපි කියනවා ඉතාම ස්වාධීන පරීක්ෂණයක් සිද්ධ කරලා, ඒ වාර්තා ජනගත කරන්න කියලා. විශේෂයෙන්ම මේ ඇතා නිදි ගැන්වීමක්, එහෙම නැත්තං සෙඩේට් කිරීමක් සිද්ධ කළා. ඒ අවස්ථාවේ වැරදි ගණනාවක් කරපු බව අපිට පේන්න තියෙනවා. ඒ වගේම උස නිවැරදිව ගැනීම.
දිග නිවැරැදිව ගැනීම සහ මෙයාගේ බර කැල්කියුලේට් කිරීමේ වැදගත්කමක් තිබ්බා මාත්රාව තෝරගන්න. ඒකත් නිවැරදිව සිද්ධ වුණේ නෑ. ඊට අමතරව ස්කෑන් පරීක්ෂාවකත් ඒ මොහොතේ කළ යුතු වුණත් ඒකත් නිවැරදිව කළේ නැහැ. ඊට අමතරව භෞතිකව මේ වෙනත් තුවාල කැළැල් තියෙනවද කියලා සොයා බැලීම සිද්ධ කළ යුතු වුණත් එයත් මේ පශු වෛද්යවරුන්ගෙන් මගහැරුණු බව අපිට පේන්න තියෙනවා. මේක ජාතික සම්පතක්. දැන් ලෝකේ මෙවැනි විශාල ඇත්තුන්ව ආරක්ෂා කරන්න වෙනම බලඇණියක් යොදවලා තිබ්බා. හැබැයි අභාග්යයට අපේ කාවන්තිස්සට එවැනි ආරක්ෂාවක් මැරෙන මොහොත වනතුරුත් තිබුණේ නැහැ.
විශේෂයෙන් කියන්න ඕනේ ඇමතිවරයා මාධ්යයට ඇවිල්ලා මහා බොරුවක් කිව්වා ඩ්රෝන තාක්ෂණයෙන් මෙයාව නිරීක්ෂණය කරනවා කියලා. හැබැයි මෙයා කුඹුරක වැටෙනකන් කිසි කෙනෙක් දැනන් හිටියේ නැහැ. ගම්මු තමයි ඒ පණිවිඩය දුන්නේ. අලි ගැවසෙන පරිසරයේ වෙඩික්කරුවෝ ඉන්නවා. මේගොල්ලන් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතුයි. මේ අය පිළිබඳ බොහෝ දෙනෙක් ඔත්තු ලබා දෙනවා. නීල කියන මහ ඇතා මරලා ඒ දළ ගත්ත ආකාරය පිළිබඳ මම වනජීවී වැටලීම් අංශයට කියලා අවුරුද්දකට කිට්ටු කාලයක් වෙනවා. අදටත් ඒ පුද්ගලයෝ අත්අඩංගුවට ගැනීම සිද්ධ කළේ නැහැ. ගම්වල දඩයක්කාරයෝ කවුද කියන්න හැමෝම දන්නවා.මදු තියෙන අයව දන්නවා. හක්කපටස් තියෙන අයව දන්නවා. හැබැයි අපි හැමදාම කියනවා වනජීවී විශේෂ බුද්ධි ඒකකයක් හදලා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ ක්රියාවලියක් ස්ථාපනය කරන්න කියලා. ඒක සිද්ධ කරන්නේ නැහැ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව බීරි අලියෙක් වගේ ඉන්නවා" යැයි පැවසීය.