''රටම ආදරය කළ කාවන්තිස්ස හස්තියාට සිදු වූයේ කුමක්ද?'' - මරණය ගැන විශේෂඥ කණ්ඩායමකින් පරීක්ෂණයක්
ශ්රී ලංකාවේ විශාලතම හා උසින් වැඩිම වන අලි ඇතුන් අතර ප්රසිද්ධියට පත්ව සිටි කාවන්තිස්ස හස්තියාගේ මරණයට හේතුව සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායමක් යොදවා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට අද (17) කටයුතු කරන බව වාර්තා වේ. පේරාදෙණිය විශ්වවිද්යාලයේ විශේෂඥයන් ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්ෂණයට එක්වීමට නියමිතය.
බරපතළ වෙඩි වැදීමේ තුවාල සඳහා ප්රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස හස්තියා ඊයේ (16) පස්වරුවේ මියගියේය. ඊයේ උදෑසන සියඹලංගමුව වනජීවී ප්රදේශයට අයත් කුඹුරු යායක ඇදවැටී සිටියදී හස්තියා සොයාගෙන තිබිණි.
ඊට පෙර දින ඔහුට ප්රතිකාර ලබාදුන් ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් එම ස්ථානය පිහිටා තිබූ බව වාර්තා වේ. හස්තියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් පැය 24 පුරා ප්රතිකාර ලබාදී තිබේ.
කෙසේ වෙතත්, දකුණු ඉදිරි පාදයේ වෙඩි වැදීමෙන් ඇතිවූ තුවාලය සුවවීමේ ලක්ෂණ පෙන්නුම් කර තිබුණද, හස්තියාගේ සෞඛ්ය තත්ත්වය තවදුරටත් පිරිහී ඇති බව සඳහන් වේ.
ආහාර ගැනීම නතර කිරීමෙන් පසු ඇතිවූ විජලනයද එම තත්ත්වයට බලපාන්නට ඇති බව වාර්තා වේ.
මේ අතර, කාවන්තිස්ස හස්තියාගේ අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්ද වනජීවී නිලධාරීන් ඊයේ රාත්රියේ සාකච්ඡා කර තිබේ.
හස්තියාගේ මරණයට නිශ්චිත හේතුව සහ ඊට අදාළ තත්ත්වයන් අනාවරණය කරගැනීම සඳහා පැවැත්වීමට නියමිත පශ්චාත් මරණ පරීක්ෂණයේ ප්රතිඵල වැදගත් වනු ඇත.