කතරගම දේවාලයෙන් විශේෂ දැනුම්දීමක්
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු නොනගත කාලය නිමිත්තෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ සාම්ප්‍රදායික පූජා වාර කිහිපයක් පවත්වනු නොලැබේ.
බස්නායක නිළමේ තිළිණ මධුසංඛ මහතා සඳහන් කරන පරිදි, අද (13) පස්වරු 6.30 පූජාවෙන් අනතුරුව රාත්‍රී 9.00 ට පමණ කිරි උතුරුවා මහ දේවාලය වසා තබන අතර, එය නැවත විවෘත කරනු ලබන්නේ හෙට (14) පස්වරු 2.00 ට ය.
මේ හේතුවෙන් අප්‍රේල් 14 වැනිදා අලුයම 4.30 සහ පෙරවරු 10.30 යන ප්‍රධාන පූජා වාර දෙක නොපැවැත්වෙන බැවින්, එම කාලය තුළ පෝලිම් ගැසී අපහසුතාවයට පත් නොවන ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි.
හෙට පස්වරු 2.00 ට දේවාලය විවෘත කිරීමෙන් පසු බැතිමතුන්ට පළතුරු පූජාවන් භාර දීමට අවස්ථාව හිමිවේ. එදින රාත්‍රී 7.45 ට පමණ වාර්ෂික බක්මහ මංගල්‍ය පෙරහර ආරම්භ කිරීමට නියමිතය.
සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ප්‍රධාන වාහල්කඩින් පිටත්වන පෙරහර, ප්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගොස් පුදසිරිත් ඉටු කිරීමෙන් පසු නැවත මහ දේවාලය වෙත ගෙවැදීමට නියමිතය.
අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු නර්තන කණ්ඩායම්වලින් මෙන්ම භක්ති කාවාඩි සහ ගිනි බෝල සංදර්ශනවලින් ද මෙම පෙරහර වර්ණවත් වනු ඇත.
පෙරහර අවසන් වීමෙන් පසු තේවාව සිදු කර නැවත බැතිමතුන්ගේ පූජාවන් භාර ගැනීම ආරම්භ කරන බව බස්නායක නිළමේ කාර්යාලය වැඩිදුරටත් දැනුම් දෙයි.