කරාපිටිය රෝහලේ දරුවන්ට ලිංගික අතවර.. සකකරුවට නීතිය තද වෙයි
කරාපිටිය ජාතික රෝහලේ වාට්ටුවක වැසිකිළිය තුළදී බාලවයස්කාර පිරිමි ළමුන් දෙදෙනකුට අවස්ථා දෙකකදී අඩන්තේට්ටම් කිරීම සහ ලිංගික අපයෝජනය කිරීමේ බරපතළ චෝදනා දෙකටම වරද පිළිගත් විත්තිකරුවකුට ගාල්ල මහාධිකරණය විසින් ඊයේ (26) බරපතළ වැඩ සහිත වසර 16ක සිර දඬුවම් නියම කර තිබේ.
විත්තිකරුවා වන පෝද්දල පෙරියන් සෙල්වරාජ් (වයස අවුරුදු හතළිස් ආසන්නයක පුද්ගලයෙකි) රෝහලේ නතරව සිටි කාලයේදී ඉකුත් 2006 ජනවාරි මාසය තුළදී මෙම අපරාධ සිදු කර ඇති බවට චෝදනා එල්ල වී තිබුණි.
නඩුවලදී විත්තිකරුවා චෝදනා දෙකටම වරද පිළිගත් අතර, ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් පහත පරිදි දඬුවම් නියම කරන ලදී:
බාල වයස්කාර පිරිමි ළමයෙකුට සාපරාධී බලහත්කාරය පා අඩන්තේට්ටම් කිරීමේ චෝදනාවට – බරපතළ වැඩ සහිත වසර 2ක සිර දඬුවමක් සහ රුපියල් 5,000ක දඩයක්.
තවත් බාල වයස්කාර පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවට – බරපතළ වැඩ සහිත වසර 14ක සිර දඬුවමක් සහ රුපියල් 10,000ක දඩයක්.
මෙම දඬුවම් දෙක එකතු වූ විට බරපතළ වැඩ සහිත වසර 16ක සමස්ත සිර දඬුවමක් ලැබුණි.
එසේම, රුපියල් 15,000ක දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 2 බැගින් සිර දඬුවම් දෙකක් (එකතුව මාස 4ක්), වින්දිතයන්ට රුපියල් ලක්ෂයක වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඬුවමක්ද නියම කෙරිණි.
විනිසුරුවරිය මෙසේ දඬුවම් නියම කිරීමේදී, විත්තිකරු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි කාලය සලකා බැලීමට තීරණය කළ බවද සඳහන් කළාය.
නඩුවේදී අනාවරණය වූයේ, ලිංගික අපයෝජනයට ලක්වූ ළමයා වාට්ටුවේ වෛද්‍යවරයාට සිදුවීම පැවසීමෙන් පසු විත්තිකරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් කේ.ජි.ඒ. පුෂ්ප කුමාර (86264) මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර, රජයේ නීතිඥවරයෙකු වින්දිතයන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.