වියළි කාලගුණික තත්ත්වය මත යට වූ ගම්මානයක් යළි මතුවේ [PHOTOS]
දිවයිනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ තදාසන්න නගර රැසකට ජලය සපයන කලටුවාව ජලාශයේ ජල මට්ටම අතිශය පහළ මට්ටමකට ඇද වැටී තිබේ.
මේ සමඟම ජලාශයට යටවී තිබූ පැරණි කලටුවාව ගම්මානයේ නටඹුන් වසර ගණනාවකට පසු නැවතත් දැකගත හැකි වන පරිදි ජලයෙන් ඉහළට මතු වී ඇත.
වර්ෂ 1948 දී පමණ කලටුවාව ගම්මානය හරහා ගලා ගිය කලටුවාව ඔය හරස් කර මෙම ජලාශය ඉදිකරන ලදී.
එදවස එරත්න හරහා කලටුවාව ගම්මානයට පිවිසීමට තිබූ ප්රධාන මාර්ගය, ගමේ විහාරස්ථානය, බේකරිය සහ නිවාසවල ශේෂ වූ කොටස් රැසක් මේ වන විට ජලාශ පතුලෙන් මතුව තිබේ.
මීට අමතරව ජලාශය නිර්මාණය කිරීමේදී වෙඩි බෙහෙත් ගබඩා කිරීම සඳහා ඉදිකර තිබූ කුඩා ගබඩාවල කොටස් ද මේ අතර දැකගත හැකි බව වාර්තා වේ.
ජල මට්ටම ශීඝ්රයෙන් පහත බැසීමත් සමඟ දිස්වන මෙම ඓතිහාසික නටඹුන් දැකබලා ගැනීමට බොහෝ පිරිසක් එම ප්රදේශයට පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ.



