කෝපා සභාපති පුටුවට කබීර්ගේ නම දෙයි
සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) කමිටුවේ සභාපති ධුරය වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම යෝජනා කිරීමට කටයුතු කරන බව සඳහන් කරයි.
එනිසා කෝපා කමිටුවේ සභාපති ලෙස පත්කරන මෙන් කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ඉදිරිපත් කරන බව ඔහු පවසා ඇත.
මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා අද (06) දින පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබුණා.
එහිදී සෙනරත් මහතා සඳහන් කළේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදීමට වර්තමාන ආණ්ඩුව එකඟ වී ඇති නිසා තමා මෙසේ ඉල්ලා අස්වන බවයි.
එමෙන්ම රජයේ ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ක්‍රියා කළ වකවානුව තුළ තම වගකීම හැකි උපරිමයෙන් ඉටු කිරීමට කටයුතු කළ බවද ඔහු පැවසුවා.
එසේම තව දුරටත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජිකයකු වශයෙන් තම වගකීම් ඔහු ඉටුකරන බවද කියා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අරවින්ද සෙනරත් මහතා කියා සිටියේ,
''රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධවයි මේ ප්‍රකාශය කරන්නේ. දසවැනි පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස මා මොතෙක් රාජකාරි කළ අතර එහි වගකීම මා හැකි උපරිම ලෙස මා ඉෂ්ඨ කළා. වත්මන් ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දීමට එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට මා මෙම සභාපතිධුරයෙන් මා අද දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වෙනවා. මම එහි සාමාජිකයතු ලෙස තවදුරටත් කැපවීමෙන් වැඩ කරනවා.''
