ජවිපේ රැස්වීමට වෙඩි තැබූ ජුලම්පිටියේ අමරේගේ මරණ දඬුවම තීන්දු වෙයි.
2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී තංගල්ල මහාධිකරණය විසින් ජී.ජී.අමරසිරි හෙවත් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනය අභියාචනාධිකරණය ඊයේ (20) තහවුරු කර තිබෙනවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී චෝදනාවලට විත්තිකරු වරදකරු බවට නිගමනය කළ, එවකට තංගල්ල මහාධිකරණ විනිසුරුවරයා ලෙස කටයුතු කළ ආර්.එස්.එස්. සපුවිද මහතා 2019.11.07 වැනිදා නිකුත් කළ තීන්දුව මගින් ජුලම්පිටියේ අමරේ නමැත්තාට මරණීය දණ්ඩනය නියම කර ඇත.
2012 වසරේ ජුනි මස 15 වනදා කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු මරා දමා තවත් අයකුට මරණීය තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ජුලම්පිටියේ අමරේ නැමැත්තාට එරෙහිව මෙම නඩුව තංගල්ල මහාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.
එම චෝදනාවන්ට වරදකරු කෙරුණු ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබූ අතර එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ජුලම්පිටිය අමරේ සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළා.
කෙසේ වෙතත් එම ඇපෑල තුළින් විත්තිකරු ප්‍රකාශ කළේ මහාධිකරණ නඩු විභාගයේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ සාක්ෂි විනිසුරුවරයා විසින් සැලකිල්ලට නොගත් බවයි.
රිදී දොරටුවෙන් පිවිසි ජනපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරයි. - වෙනදට වඩා වෙනස් වූ පිළිගැනීමක්. - ජයමංගල ගාථා නෑ. - (VIDEO/PHOTOS)
ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් විත්තිකරු එම ඇපෑල තුළින් ඉල්ලා තිබුණා.
එම ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවරු සඳහන් කළේ මහාධිකරණ විනිසුරුවරයා විසින් නිකුත් කළ මරණීය දණ්ඩනය සම්බන්ධයෙන් මැදිහත්වීම් සිදු කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවයි.
ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන මරණීය දණ්ඩනය තහවුරු කරන බවත් අදාළ ඇපෑල ප්‍රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කරනවා.
2012.06.15 වැනිදා කටුවන හැඩිවත්ත ප්‍රදේශයේ පිහිටි ලියනගේ රංජිත් නමැත්තාගේ නිවසේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වන වෛi නලින්ද ජයතිස්ස මහතා සභාව අමතමින් සිටියදී යතුරුපැදි 4-5 කින් තවත් පිරිසක් සමග එම ස්ථානයට කඩාවැදී “මම තමයි යකෝ මැදමුලනේ වලව්වේ දඩ බල්ලා. තොපි පුළුවන්නම් වරෙව්. කවුද මේක සංවිධානය කරපු එවුන්” යැයි පවසමින් ටී-56 ගිනි අවියකින් වෙඩිතබා තිබිණි. එහිදී 50 හැවිරිදි එදිරිමාන්නගේ මාලනී සහ 18 හැවිරිදි ජේ.පී. නිමන්ත ග්‍රේෂන් මියගොස් තිබූ අතර 26 හැවිරිදි ප්‍රදීප් සාරංග නමැත්තා බරපතළ තුවාල ලබා තිබිණි.