යාපනයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ වෙළෙඳුන්ට අධිකරණයෙන් දඩ
නියමිත උපරිම සිල්ලර මිලට හෝ භාණ්ඩයේ මුද්‍රිත මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ අලෙවි කළ යාපනයේ ව්‍යාපාරික ස්ථාන තුනකට රුපියල් 668,000ක සමස්ත දඩ මුදලක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් සිදුකළ වැටලීම්වලින් අනතුරුව අදාළ වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති අතර, යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගවලින් පසුව මෙම දඩ නියම කර ඇත.
ඒ අනුව යාපනය ප්‍රදේශයේ අවන්හලක් සහ මත්පැන් අලෙවිසැලක් පවත්වාගෙන යන ස්ථානයකට රුපියල් 300,000ක දඩයක් නියම කර තිබේ. එහිදී මිලිලීටර් 1,000ක පානීය ජල බෝතලයක් රුපියල් 120ක උපරිම සිල්ලර මිලක් තිබියදී රුපියල් 200කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
තවත් ආපනශාලාවකට බෝතල් කළ සෝඩා පානයක් එහි මුද්‍රිත සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් රුපියල් 100,000ක දඩයක් නියම කර තිබේ. මේ අතර, පොන්නි සම්බා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් තවත් වෙළෙඳෙකුට රුපියල් 268,000ක දඩයක් නියම කර ඇත.
අදාළ සහල් කිලෝග්‍රෑමයක් සඳහා නියම කර තිබූ උපරිම සිල්ලර මිල රුපියල් 255ක් වුවද, ඊට වැඩි මිලකට සහල් අලෙවි කර ඇති බවට එම වෙළෙඳුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. අධිකරණයේදී වෙළෙඳසැල් හිමියා එම සහල් “පාල් පොන්නි” සහල් බවට ප්‍රකාශ කර තිබුණද, අධිකරණ නියෝගයක් මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉදිරිපත් කළ සහල් සාම්පල සහල් පර්යේෂණ ආයතනය වෙත යොමුකර පරීක්ෂා කර ඇත.
එහිදී අදාළ තොගය ආනයනය කරන ලද පොන්නි සම්බා සහල් බව තහවුරු වී තිබේ. භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ මුද්‍රිත මිල සහ උපරිම සිල්ලර මිල පිළිබඳව අවධානය යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම යම් මිල නීති උල්ලංඝනයක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී සාක්ෂි ලෙස භාවිත කළ හැකි බැවින් මිලදී ගැනීම් සඳහා ලැබෙන රිසිට්පත් ලබාගෙන සුරක්ෂිතව තබාගන්නා ලෙසද අධිකාරිය දැනුම් දෙයි. වෙළෙඳ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව රාජකාරි වේලාවන් තුළ 1977 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කළ හැකිය.
[AEQGCA3[