සුපිරි ව්‍යාපාරිකයන් ඉලක්ක කළ කොකේන් ජාවාරමක් - ඉතාලියේ සිට මෙහෙයවා ඇති බව හෙළිවෙයි
මෙරට සුපිරි පන්තියේ ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් ඉතාලියේ සිට මෙහෙයවා ඇති බවට සැක කෙරෙන මහා පරිමාණ කොකේන් ජාවාරමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් බුද්ධි තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී, සීදුව ප්‍රදේශයේ සුපිරි ආපනශාලාවක රථගාලකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔවුන් සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් කෝටි දෙකකට ආසන්න බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලෙස කටාන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ජයකොඩි ආරච්චිගේ දොන් මහේෂ් ගයාන් සහ මීගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පතිරණගේ නවීන් හිරුෂ ප්‍රනාන්දු හඳුනාගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි. ඒ අනුව, ඉතාලියේ සිටින ‘දිනේෂ්’ නමැති ව්‍යාපාරිකයෙකු විසින් ගුවන්තොටුපළ හරහා සූක්ෂම ලෙස කොකේන් මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
පසුව එම මත්ද්‍රව්‍ය සුපිරි ආපනශාලාවල රථගාල් තුළදී මෙරට සුපිරි පන්තියේ ව්‍යාපාරිකයන් වෙත අලෙවි කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණය වී ඇත. මෙම ජාවාරම හරහා එක් සැකකරුවෙකුගේ බැංකු ගිණුමක පමණක් රුපියල් කෝටි 20කට අධික මුදලක් සංසරණය වී ඇති බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය අලෙවියෙන් ලැබුණු මුදල් බැංකු ගිණුම් 30කට වැඩි සංඛ්‍යාවකට බැර කර, ඒවා ව්‍යාපාරික ගනුදෙනු ලෙස හඟවමින් නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණය හරහා නැවත ඉතාලියට යවා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
මේ වනවිට එම මුදල් හුවමාරු වී ඇති බවට හඳුනාගෙන ඇති බැංකු ගිණුම් 25ක් සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.