මුළු රටම බියට පත් කරමින් එඩ්ස් ආසාදිතයන් ඉහළට - ලෝකයේ අඩුවෙද්දී ලංකාව 17 වැනි තැනට
HIV ආසාදනය ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන ලොව රටවල් 21 අතරින් ශ්‍රී ලංකාව 17 වැනි ස්ථානයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් වැඩසටහන පෙන්වා දෙයි. එම දත්තවලට අනුව, 2022 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ ලොව පුරා HIV ආසාදන ඉහළ යාම සියයට 20ක් ලෙස වාර්තා වී තිබේ.
මෙලෙස HIV ආසාදන ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්වන රටවල් අතර ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ආර්මේනියාව, බංග්ලාදේශය, බ්‍රසීලය, කොංගෝව, කොස්ටාරිකාව, ඊජිප්තුව, කිර්ගිස්තානය, මැඩගස්කරය, නයිජීරියාව, පාකිස්තානය, පැරගුවේ, පේරු, පිලිපීනය, සෙනගාලය, ශ්‍රී ලංකාව, සුඩානය, ටියුනීසියාව, වෙනිසියුලාව සහ යේමනය ඇතුළත් වේ. කෙසේ වෙතත්, 2010 වසරට සාපේක්ෂව 2024 වසර වන විට ලොව පුරා HIV ආසාදන වාර්තා වීම සියයට 40කින් පමණ අඩු වී තිබේ.
එම කාලසීමාවේදී ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් හඳුනාගැනීම සියයට 48කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඒඩ්ස් මර්දන ඒකකය සඳහන් කරයි. මේ අතර, 2023 වසරේ සිට ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙන ඇති බවද එම ඒකකය පවසයි.
2025 වසරේ පළමු මාස නවය තුළ පමණක් ශ්‍රී ලංකාවෙන් HIV ආසාදිතයන් 639 දෙනෙකු හඳුනාගෙන තිබේ. එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 6ක ඉහළ යාමක් බව සඳහන් වේ. දැනට පවතින ඇස්තමේන්තු අනුව, ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයන් 4,900ත් 6,500ත් අතර සංඛ්‍යාවක් සිටිය හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති.
ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් සඳහන් කර ඇත්තේ කාන්තාවන්ට සාපේක්ෂව පිරිමින් අතර HIV ආසාදනය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.
මත්ද්‍රව්‍ය භාවිතයේදී ඉන්ජෙක්ෂන් වැනි උපකරණ හුවමාරු කර ගැනීම එම තත්ත්වයට බලපාන සාධකයක් විය හැකි බවටද සැකයක් පවතින බව ඇය පෙන්වා දී තිබේ.
2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී HIV ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබීම හේතුවෙන්, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල රෝගය හඳුනාගැනීම සහ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම සායනද ආරම්භ කර ඇති බව ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන සඳහන් කරයි.