ඇමරිකානු වැසියන්ට ඉරාන ජනපතිගෙන් අතිවිශේෂ ලිපියක් - ලිපියේ තිබූ දේ මෙන්න
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් මහතා ඉරානය සම්බන්ධයෙන් පවතින සාවද්‍ය තොරතුරු සහ ගෙතූ ප්‍රබන්ධවලින් බැහැරව සත්‍යය වටහා ගන්නා ලෙස ඉල්ලා අමෙරිකානු ජනතාව වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
ඒ අනුව ලොව පැරණිතම ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ඉරානය, විවිධ ආක්‍රමණ සහ සම්බාධක හමුවේ වුවද නූතන ඉතිහාසය තුළ කිසිදු දිනක වෙනත් රටකට එරෙහිව යුද්ධයක් ආරම්භ කර නොමැති බව ඔහු එහිදී අවධාරණය කර ඇත.
ඉරාන වැසියන් සැමවිටම රජයන් සහ සාමාන්‍ය ජනතාව අතර වෙනස හඳුනා ගන්නා බවත්, අමෙරිකානු ජනතාව කෙරෙහි තමන් තුළ කිසිදු සතුරුකමක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කරයි.
1953 වසරේ ඉරානය තුළ සිදුකළ කුමන්ත්‍රණය සහ 80 දශකයේ යුද්ධයේදී සදාම් හුසේන්ට අමෙරිකාව ලබාදුන් සහාය පිළිබඳව සිහිපත් කරන පෙසෙෂ්කියන් මහතා, එවැනි පීඩනයන් හමුවේ ඉරානය දුර්වල නොවී අධ්‍යාපන, සෞඛ්‍ය සහ තාක්ෂණික අංශවලින් විශාල දියුණුවක් ලබා ඇති බව පෙන්වා දෙයි.
ඉරානය මීට පෙර සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවලට පැමිණ සිය පොරොන්දු ඉටු කළද, අමෙරිකානු රජය ඉන් ඉවත් වී ගැටුම්කාරී ලෙස ක්‍රියා කිරීම විනාශකාරී තීරණයක් බව ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
ඉරානයේ බලශක්ති සහ කාර්මික යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර යුද අපරාධ ලෙස හඳුන්වා දුන් ඔහු, එය ශක්තිය ප්‍රදර්ශනය කිරීමක් නොව උපායමාර්ගික අසරණභාවයක් බවද සඳහන් කළේය.
ඊශ්‍රායලය විසින් පලස්තීනුවන්ට එල්ල කරන පීඩනයෙන් ලෝක අවධානය වෙනතකට යොමු කිරීම සඳහා "ඉරාන තර්ජනයක්" මවාපාමින් අමෙරිකානු ප්‍රතිපත්ති මෙහෙයවන බවටද ජනාධිපතිවරයා චෝදනා කරයි.
වෛරය වෙනුවට සහයෝගීතාවය තෝරා ගන්නා ලෙස අමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින පෙසෙෂ්කියන් මහතා, මෙම ගැටුම්කාරී පිළිවෙත අතිවිශාල පිරිවැයක් දරන්නට සිදුවන නිෂ්ඵල ක්‍රියාවක් බව පවසමින් සිය ලිපිය අවසන් කර තිබේ.