අමෙරිකානු ගුවන් නියමුවා බේරාගන්න බැරි වුණා ඒ පුවත අසත්‍යයි - ඉරානෙන් ප්‍රකාශයක්

Report

ඉරානය විසින් අමෙරිකානු ප්‍රහාරක යානයක් වෙඩිතබා බිම හෙළීමෙන් පසු අතුරුදන්ව සිටි ගුවන් නියමුවා මුදාගත් බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ඉරානය අවධාරණය කරයි.

ඉරාන හමුදා මූලස්ථානය උපුටා දක්වමින් එරට තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ අදාළ ගුවන් නියමුවා ගලවා ගැනීම සඳහා අමෙරිකාව දියත් කළ මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි.

ඒ අනුව දකුණු ඉස්ෆහාන් කලාපයේදී සිය හමුදා විසින් අමෙරිකානු ප්‍රහාරක ගුවන් යානයක්, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් යානා දෙකක් සහ හමුදා සෙබළුන් ප්‍රවාහනය කරන C-130 වර්ගයේ ගුවන් යානයක් ප්‍රහාර එල්ල කර විනාශ කළ බව ඉරානය පවසයි.

එම යානා තවමත් ගිනි ගනිමින් පවතින බව පවසන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය, කාන්තාර ප්‍රදේශයක ගුවන් යානයක දුම් දමන සුන්බුන් පෙන්වන වීඩියෝවක් ද ප්‍රසිද්ධ කර තිබේ.

මේ අතර ඉරාන කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් මහතා ද මෙම සිදුවීමට අදාළ ඡායාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මුදාහැර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.