ඉන්දුනීසියාවට යළිත් ප්‍රබල භූ කම්පනයක් - මරණ 53යි, 9,000කට වැඩි පිරිසක් අනාථයි
ඉන්දුනීසියාවට බලපෑ ප්‍රබල භූ කම්පන මාලාවෙන් අනතුරුව අද (17) අලුයම යළිත් භූ කම්පනයක් සිදුව තිබේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ෆ්ලොරෙස් ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුක්ත වූ බවයි.
පසුගිය 15 වැනිදා ඉන්දුනීසියාවට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබල භූ කම්පනයක් බලපෑ අතර, ඉන් අනතුරුව ප්‍රදේශය ආශ්‍රිතව පසු කම්පන රැසක්ද වාර්තා විය.
එම ප්‍රබල භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර ඇති ආරක්ෂිත මධ්‍යස්ථානවල මේ වනවිට පුද්ගලයන් 9,200කට අධික පිරිසක් රැඳී සිටින බවද වාර්තා වේ.
භූ කම්පන තත්ත්වය හේතුවෙන් ඉන්දුනීසියාවේ සංචාරක ප්‍රදේශ ආශ්‍රිතව සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබේ. එමෙන්ම ඉන්දුනීසියානු වරාය අධිකාරිය විසින් සමුද්‍ර ප්‍රවාහන සේවා තාවකාලිකව අත්හිටුවීමටද කටයුතු කර ඇත.
මේ අතර, භූ කම්පනයේ බලපෑමෙන් ප්‍රාන්ත කිහිපයක විදුලි සැපයුමද බිඳ වැටී තිබූ අතර, එය යථා තත්ත්වයට පත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බව සඳහන් වේ.