හැකි ඉක්මනින් මැතිවරණය පවත්වන්න - ඉන්දියාවෙන් ශ්‍රී ලංකා රජයට ඉල්ලීමක්
දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය.
එම නිවේදනයේ දැක්වෙන්නේ නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි ඊයේ (05) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවු අවස්ථාවේ දී මෙම ඉල්ලීම සිදුකළ බවයි.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහය දැක්වීම, බලශක්ති සහයෝගීතාව, වෙළෙඳ ගිවිසුව යාවත්කාලීන කිරීම, ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම, කන්කසන්තුරය වරාය නවීකරණය සහ ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය ඇතුළු ඉන්දීය සහය ලබන ව්‍යාපෘති පිළිබඳව ද මෙම හමුවේදී සාකච්ඡා වී තිබේ.
මීට අමතරව ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ඉන්දීය විදේශ ලේකම්වරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවී සාකච්ඡා කර තිබේ. සිය එක්දින නිල සංචාරය නිම කරමින් ඊයේ පස්වරුවේ ඔහු ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව වාර්තා වේ.