IMF නියෝජිතයින් පිරිසක් අද දිවයිනට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් අද (26) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදුකෙරෙන පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සම්පූර්ණ කිරීමේ අරමුණින් ප්‍රතිපත්තිමය සාකච්ඡා පැවැත්වීම සඳහා මෙම කණ්ඩායම අප්‍රේල් 9 වන දා දක්වා දිවයිනේ රැඳී සිටීමට නියමිත බව වාර්තා වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් මහත්මිය මේ බව තහවුරු කර තිබේ. මෙම සංචාරය අතරතුර IMF නියෝජිතයන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳවද විශේෂ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.
සංචාරය අවසන් වූ පසු ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ යාවත්කාලීන තක්සේරුවක් සිදු කර, රටට ලබා දිය හැකි උපරිම සහයෝගය කුමක්ද යන්න තීරණය කරන බව ජූලි කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පස්වන සමාලෝචනය සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය 2025 ඔක්තෝබර් 9 වන දින ලැබුණු අතර, එයජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 347ක මූල්‍ය පහසුකමක් ලැබීමට අවස්ථාව උදාවනු ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් ආර්ථිකයට එල්ල වූ බලපෑම් සහ ගෝලීය ඉල්ලුම් වෙනස්වීම් හේතුවෙන් පස්වන සහ හයවන සමාලෝචන ඒකාබද්ධව සිදු කිරීමට බලධාරීන් සැලසුම් කර ඇති අතර, මෙම සංචාරය මගින් හයවන වාරිකයට අදාළ සමාලෝචන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අපේක්ෂිතය.