"මට සල්ලි නැහැ… ඔබේ රුපියල් 100 ක දායකත්වයෙන් බලාපොරොත්තු වෙනවා" - ඥානසාර හිමි
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (පෙබරවාරි 23) ජාතික පිං කැටයක් ආරම්භ කළ බව ප්‍රකාශ කර තිබේ.
උන්වහන්සේ සඳහන් කළේ, මෙම පිං කැටයට රුපියල් 100 ගාණේ හෝ කාරුණිකව ලබා දෙන ලෙස බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි. පසුගිය කාලයේ ධර්ම දේශනා කරමින් ආදායම් ලබා ගත් නමුත් වර්තමානයේ තමන්ට කිසිදු ආදායමක් නොමැති බවත්, එබැවින් මෙම පිං කැටයට මුදල් එකතු කිරීම සඳහා පිණ්ඩපාතය හෝ වැඩින බවත් උන්වහන්සේ පැවසුහ.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, තමන්ට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය චෝදනා කරන පිරිස්වලට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවයි. එම නඩුකටයුතුවලට යන මුදල් ප්‍රමාණය, මානසික ව්‍යාකූලතාව හා කාලය ගැන දන්නේ නඩු තිබෙන අය විතරක් බවත්, තමන්ට නඩු විසි ගණනකට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ;
“නඩුවක තියෙන ස්වභාවය සහ එවට යන කාලය, ඒවට ගියාම තියෙන මානසික ව්‍යාකූලතාවය, ඒවට යන මුදල් කන්දරාව දන්නේ නඩු තියෙන අපි විතරයි. මට නඩු විසි ගාණක් තියෙනවනේ. ඒව තමයි මේ ඉවර කරගෙන ඉවර කරගෙන එන්නේ. ඒ නිස මගේ හතුරෙකුටවත් එවන් විපතක් නොවේවා කියලා ප්‍රාර්තනා කළත් මේක ඉවසන්න බැහැ. මේ අපහාස කරන හැම එකාටම ඔය කියන ඒවා ඔප්පු කරන්නත් එපැයි. අපි මිනිස්සුනේ. අපිටත් කියලා ආත්ම ගරුත්වයක් තියෙනවා. අපිත් රෙද්දක් ඇදගෙන පාරේ බැහැලා යන්න එපැයි…”
මෙම පිං කැටය ආරම්භ කිරීම තමන්ට එරෙහිව සිදුවන අපහාස හා නඩුකටයුතුවලට ආධාර වීම සඳහා බවත් උන්වහන්සේ පැහැදිලි කළහ.