මුළු ජැමෙයිකාවම වැනසූ භයානක සුළි කුණාටුව කියුබාවටත් - සංචාරකයින් 25,000ක් හිර වෙයි
අත්ලාන්තික් සාගරයේ කුණාටු ඉතිහාසය පුරාවට ඇතිවූ බලවත්ම කුණාටු අතරින් එකක් වශයෙන් සැලකෙන මෙලිසා සුළි කුණාටුව, ජැමෙයිකාවට හානි කිරීමෙන් අනතුරුව කියුබාවට කඩා වැදී ඇත.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සුළි කුණාටුව නිසා කැරිබියන් දූපත්වල දැවැන්ත විනාශයක් ඇති වී ඇති බවයි. එසේම මේ හේතුවෙන් සංචාරකයින් 25,000ක් පමණ සිරවී සිටින බවත් වාර්තා වේ.
මේ අතර වාර්තා වන ලෙසට මෙලිසා සුළි කුණාටුව, 2005 දී ඩොලර් බිලියන 125ක පමණ හානියක් සිදු කරමින් පුද්ගලයන් 1,392කට මරු කැඳවූ කැට්‍රිනා සුළි කුණාටුවේ තීව්‍රතාවය පවා අභිබවා ගොස් ඇත.
ඊට අමතරව මෙලිසා සුළි කුණාටුව පස්වැනි මට්ටමේ කුණාටුවක් වශයෙන් ජැමෙයිකාවට පැමිණියා.
ඒ අනුව ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හෝල්නස් විසින් දිවයින ‘ව්‍යසන කලාපයක්’ වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
එසේම අඳාළ පියවර ගෙන ඇත්තේ පුරවැසියන් ආහාර, ජලය සහ සැපයුම් සුරක්ෂිත කර ගන්නා අවස්ථාවක ඕනෑම සූරාකෑමක් වැළැක්වීමට බව සඳහන්.
මේ අතර කුණාටුව ජැමෙයිකාවේ නිරිතදිග ප්‍රදේශයට බලපෑම් එල්ල කළ අතර, පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම බලධාරීන් සඳහන් කළේ පුද්ගලයන් 530,000ක් පමණ විදුලිය නොමැතිව සිටින බවයි.
මේ අතර මෙලිසා සුළි කුණාටුව බදාදා දින තුන්වැනි මට්ටමේ කුණාටුවක් වශයෙන් නැගෙනහිර කියුබාවට සහ සැන්ටියාගෝ ඩි කියුබා පළාතට කඩා වැදුනා.
එසේම එය තවමත් අතිශයින් භයානක සුළි කුණාටුවක් වශයෙන් සැලකේ.
බදාදා අලුයම වන විට මෙලිසා කුණාටුවේ ඉහළම සුළං වේගය පැයට සැතපුම් 120 ක් වූ අතර එය ඊසාන දෙසින් පැයට සැතපුම් 10 ක වේගයකින් ගමන් කරමින් තිබුණ බව එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය පවසයි.
එබැවින් කියුබානු බලධාරීන් මෙතෙක් 735,000ක් පමණ ජනතාව ඉවත් කර ඇත. තවද ග්‍රාන්මා, සැන්ටියාගෝ ඩි කියුබා, ගුවැන්ටනාමෝ, හෝල්ගුයින් සහ ලාස් ටුනාස් යන පළාත් සඳහා ද මෙම සුළි කුණාටු අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බව වාර්තා වුණා.
මේ අතර ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් සමාජ මාධ්‍ය ඔස්සේ “කියුබාවට මේක ඉතා දුෂ්කර රාත්‍රියක් වේවි. නමුත් අපි යථා තත්ත්වයට පත් වෙනවා නියතයි” යනුවෙන් පවසා තිබුණා.
එසේම කියුබානු ජාතිකයන් හැකි උපරිමයෙන් ආහාර, ඉටිපන්දම් සහ බැටරි තොග රැස්කරගෙන ඇති බවත් වාර්තාවල සඳහන් වුණා.
කෙසේ වෙතත් මෙම සුළි කුණාටුව බදාදා උදෑසන කියුබාව හරහා ගමන් කර අනතුරුව බහමාස් දූපත් වෙත ගමන් කිරීමට නියමිත වේ.
ඒ අනුව අමෙරිකානු කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ, මෙම අඛණ්ඩ දැඩි වර්ෂාව නිසා ජීවිතයට තර්ජනයක් වන ගංවතුර සහ බොහෝ නායයෑම් ඇතිවිය හැකි බවයි.