හැටන් ලංගම ඩිපෝවෙන් සංචාරක සෆාරි බස් රථයක්
හැටන් – සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා හැටන් ලංගම ඩිපෝවෙන් සියලුම නවීන පහසුකම්වලින් සමන්විත සංචාරක සෆාරි බස් රථයක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර තිබේ.
රත්මලාන ඩිපෝවෙන් වසර දෙකකට පෙර ලබාගත් පැරණි බස් රථයක් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරමින් සෆාරි බස් රථයක් බවට පරිවර්තනය කර ඇති බව වාර්තා වේ. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 40ක පමණ මුදලක් වැය වී තිබේ.
නව සෆාරි බස් රථය ආසන 42කින් සමන්විත වන අතර, එහි ස්ටීරියෝ නාද පද්ධතිය, ශිතකරණය සහ රූපවාහිනි යන්ත්‍රය ද ඇතුළත් කර ඇත.
බස් රථයේ වහලය සහ ජනෙල් විවෘත කර ගමන් කිරීමට හැකිවන ආකාරයට නිර්මාණය කර ඇති බැවින් සංචාරකයින්ට භූදර්ශන භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත.
මෙම බස් රථය මූලිකව ශ්‍රී පාදස්ථානය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංචාරක කලාප ආවරණය වන පරිදි ධාවනයට එක් කිරීමට නියමිතය. බස් රථය හැටන් ලංගම ඩිපෝ කළමනාකාර පාලිත බණ්ඩාර මහතාගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව ද සඳහන් වේ.
මෙම නව සෆාරි බස් රථය හරහා සංචාරක කර්මාන්තයට නව ගමනක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.