මීට පස්සේ පරිසරයට වින කළොත් ඉවරයි - රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති

Report

රටේ සැබෑම ආයෝජනය දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය බවත්, පරිසරයට ආදරේ කරන පෞරුෂවත් දරුවෙකු බිහි කිරීම රජයේ අරමුණ බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කරයි.

ඇය මේ බව කියා සිටියේ දකුණු ආසියාවේ විශාලතම රෝස තිරුවාණා පර්වත පද්ධතිය සහ විශාලතම නා වනය පිහිටි ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

"ශතවර්ෂ ගණනාවක අභිමානවත් ඉතිහාසයක් තියෙන, අපූර්ව ජෛව විවිධත්වයකින්, සංචාරක ආකර්ෂණයෙන් වගේම ලොකු අධ්‍යාපනික වටිනාකමකින් යුතු අපේ ජාතික නාමල් උයන අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කරන්න තමන්ගේ මුළු ජීවිතයම කැප කළ පූජ්‍ය වනවාසී රාහුල නායක හාමුදුරුවන්ටත්, උන්වහන්සේගේ ඒ උදාර වෑයමට ශක්තියක් වුණු හැමෝටමත් මම රජයේ ගෞරවය පළමුකොටම පිරිනමනවා. ලෝකයේ ඕනෑම රටක සැබෑම ආයෝජනය පවතින්නේ හදන ගොඩනැගිලි ඇතුළේ නෙවෙයි. රටක සැබෑම ආයෝජනය තියෙන්නේ අපේ දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ ඔවුන්ගේ චරිත වර්ධනය ඇතුළෙයි. විභාගවලට විතරක් සීමා වෙච්ච නැති, පරිසරයට ආදරය කරන, පූර්ණ පෞරුෂයකින් හෙබි දරුවෙක් බිහි කිරීම වෙනුවෙන් තමයි අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරලා තියෙන්නේ. අපි පරිසර සංරක්ෂණය ගැන වචනයට විතරක් සීමා වුණේ නැහැ. ප්‍රායෝගික තීන්දු තීරණ ගණනාවක්ම අරන් තියෙනවා. වසර 25කට පස්සේ ජාතික පාරිසරික සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මත කරගන්න අපිට පුළුවන් වුණා. ඒ හරහා සංවර්ධන ව්‍යාපෘතිවල පාරිසරික බලපෑම් ඇගයීම අපි තවත් දැඩි කළා. අන්තරායකර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරලා අපේ සොබාදහම විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 20 දක්වා දඩ සහ සිරදඬුවම් පනවන නීති අපි ගෙනාවා. ඒ වගේම ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව රුපියල් මිලියන 1 සිට 10 දක්වා දඩ පැනවීමටත් අපි පියවර ගත්තා. ඊටත් අමතරව, අපි ක්‍රියාත්මක කරපු භූගත ජලය ආරක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළ නිසා අද වන විට නාමල් උයන ආශ්‍රිත ජනතාවට නොමිලේ පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ භාග්‍යය උදාවෙලා තියෙනවා. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් පරිසරයත්, දූ දරුවන්ගේ අධ්‍යාපනයත් ආරක්ෂා කරගන්න අපි හැමෝම එකතුවෙමු"

සියලු රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සුබ පණිවුඩයක් - වැටුප් වැඩි කිරීමක් සමඟ විශ්‍රාමිකයන්ටත් සහන

සියලු රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සුබ පණිවුඩයක් - වැටුප් වැඩි කිරීමක් සමඟ විශ්‍රාමිකයන්ටත් සහන

මේ අතර මෙහිදී අනුශාසනාවක් සිදු කළ ජාතික නාමල් උයනේ නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ප්‍රකාශ කළේ,

"මේ නාමල් උයන රැකගන්න අපමණ වෙහෙසක් දැරීමට සිදු වූණා. පරිසරය රැක ගැනීම අපි කාගේත් වගකීමක්. මම දේශපාලනය ගැන කථා කරන්නෑ කොහොම වුණත් දැන් රජයේ නිලධාරීන් අපේ දුරකථන ඇමතුම් වලට සවන් දෙනවා මැති ඇමතිවරු අපිට ඇහුම්කන් දෙනවා ඒක ලොකු දෙයක්. අද අපේ අගමැතිතුමිය මෙතනට ආව නිසා මම ඉල්ලීම් දෙකක් ඉදිරිපත් කරන්න කැමතියි එකක් ගල්කිරියාගම ප්‍රාදේශිය රෝහල අපිට හදලා දෙන්න අනිත් එක ආඩියාගල පාසල සංවර්ධනය කරලා දෙන්න කියලා."

ඉන් පසු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අදහස් දක්වා ඇත.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

ඒ අනුව ඔහු සඳහන් කළේ,

"වනවාසී රාහුල හාමුදුරුවෝ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වගේම ආරක්ෂකයා කිව්වොත් නිවැරදි. පරිසරය ආරක්ෂා කිරිම අපි කාගේත් වගකීමක්. ඒවගේම ඔබ වහන්සේ ඉල්ලා සිටියා ගල්කිරියාගම ප්‍රාදේශිය රෝහල සංවර්ධනය කරන්න කියලා ඒ ඉල්ලීම අපි ඉටු කරනවා. රෝහලේ පවතින පුරප්පාඩු ලබා දෙන්නත් ඉදිරි බඳවා ගැනිම් වලින් අපි කටයුතු කරනවා. ඒවගෙම අපේ රජය අධ්‍යාපනයට විශේෂ තැනක් ලබා දීලා තියනවා ඒ නිසා 2027 අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 500ක් වෙන් කළා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංවර්ධනය කරන පාසල් අතර ආඩියාගල පාසලත් තිබෙනවා ඒ නිසා ඒ පාසලත් ඉදිරියේදී සංවර්ධනය කරන්න රජය කටයුතු කරනවා."

මෙම අවස්ථාවට පූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිළිණ තාරුක, ප්‍රාදේශීය සභා සභාපති G.K. බණ්ඩාර මහතා ඇතුළු පළාත් පාලන නියෝජිතයින්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, කොරියානු නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියා.  

සඳුදා සිට මේ පාසල් ළමුන්ට සහ මේ මගීන්ට දිනපතා දුම්රියක් - නව දුම්රිය ගමන්වාර සටහන මෙන්න

සඳුදා සිට මේ පාසල් ළමුන්ට සහ මේ මගීන්ට දිනපතා දුම්රියක් - නව දුම්රිය ගමන්වාර සටහන මෙන්න