දිවයින පුරා සමුපකාර සමිතිවලට අලුත්ම වී වේලන යන්ත්‍ර 50ක් ලබාදීමට රජය සැරසෙයි
දිනකට වී මෙට්‍රික් ටොන් 10ක් පමණ වේලීමේ ධාරිතාවයකින් යුත්, රුපියල් මිලියන 10ක් පමණ වටිනා නවීන තාක්ෂණික වී වේලන යන්ත්‍ර (Dryers) 50ක් දිවයින පුරා පිහිටි සමුපකාර සමිති වෙත ලබාදීමට රජය තීරණය කර ඇත.
මෙරට නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් සමුපකාර ක්ෂේත්‍රය දේශපාලන බලපෑම්වලින් තොරව ශක්තිමත් කිරීම සඳහා රජය විවිධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටී.
එහි කොටසක් ලෙස, වඩාත් ක්‍රියාශීලී සහ ස්ථාවර මට්ටමක පවතින සමුපකාර සමිතිවල ප්‍රගතිය සඳහා රුපියල් මිලියන 500ක විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීමටද පියවර ගෙන තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වයන් හමුවේ වී වේලීමේදී ඇතිවන බාධා සහ මහාමාර්ග අයිනේ වී වේලීමෙන් ගොවි ජනතාව මුහුණ දෙන අනතුරු අවදානම් සැලකිල්ලට ගනිමින් මෙම යන්ත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.
නිසි ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීම මගින් අවශ්‍ය සමුපකාර සමිතිවලට මෙම යන්ත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි අතර, ඒ හරහා ගොවීන්ට තම අස්වැන්න සමුපකාර වෙත අලෙවි කර සාධාරණ මිලක් ලබාගැනීමටද අවස්ථාව සැලසේ.
එමෙන්ම සමුපකාර සාමාජික ගොවි ජනතාවට තම අස්වැන්න පහසුවෙන් වියලා ගැනීමටද මෙම යන්ත්‍ර උපකාරී වනු ඇත.පසුගිය මහ කන්නයේ වාර්තාගත වී අස්වැන්නක් ලැබී ඇති අතර, මෙම යල කන්නයේද විශාල වශයෙන් වී වගාව සිදු වී ඇති බැවින් රට තුළ කිසිදු සහල් හිඟයක් ඇති නොවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වී අලෙවි මණ්ඩලය සතු ගබඩා විවෘත කරමින් සතොස සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක්ව මෙම යල කන්නයේ වී අස්වනු ගොවීන්ගෙන් සාධාරණ මිලකට මිලදී ගැනීමේ වැඩපිළිවෙලද කඩිනමින් ක්‍රියාත්මක කර තිබේ.
රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මගින් වෙළෙඳපොළ තුළ සාධාරණ තරඟකාරීත්වයක් ඇති කර, පාරිභෝගිකයාට සහනදායි මිලකට සහල් ලබාදීමත්, පෞද්ගලික අංශයද ගොවීන්ට සාධාරණ මිලක් ගෙවන තත්ත්වයට පත් කිරීමත් අපේක්ෂා කෙරේ.