රජයේ පාසල් සිසුන් ගැන භයානක හෙළිදරව්වක්
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සිදුකර ඇති අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ, රජයේ පාසල්වල සිසුන් වැඩි වශයෙන් අඩු මිලකින් මිලදී ගත හැකි, පෝෂණ ගුණයෙන් අඩු කෙටි ආහාර (Snacks) සඳහා වැඩි නැඹුරුවක් දක්වන බවයි.
අදාළ අධ්‍යයනය ‘ශ්‍රී ලංකාවේ යොවුන් වියේ නාගරික දරුවන්ගේ ආහාර පාරිභෝජන රටාව, කැමැත්ත, බාධක සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සඳහා ඇවැසි ක්රියාකාරිත්වයන්’යන මැයෙන් සිදුකර තිබේ.
කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල රජයේ හා පෞද්ගලික පාසල්වල දරුවන් 463 දෙනෙකුගෙන් මෙම අධ්‍යයනය සිදුකරන ලදීැ. අධ්‍යයනයේදී අනාවරණය වී එත්තේ, අඩු මිලකින් මිලදී ගත හැකි පෝෂණයෙන් අඩු ආහාර සඳහා රජයේ පාසල්වල දරුවන් වැඩි නැඹුරුවක් දක්වන අතර, යොවුන් වියේ දරුවන්ගේ ප්‍රධාන ආහාර වේල බත් සහ පිටි සහිත ආහාර මත පදනම්ව ඇති බවයි.
එමෙන්ම එළවළු, පලා වර්ග සහ ධාන්‍ය වර්ග දෛනික පාරිභෝජනය අඩු මට්ටමක පවතින අතර, ක්ෂණික ආහාර, කෙටි ආහාර සහ සීනි සහිත පාන වර්ග පාරිභෝජනය ඉහළ යාමක් පෙන්නුම් කරයි.
අධ්‍යයනයට අයත් සිසුන්ගෙන් අඩකට වඩා පිරිසක්, අධ්‍යයන කටයුතු හේතුවෙන් කාර්ය බහුලත්වය හෝ ආහාර පිළිබඳ උනන්දුවක් නොමැතිකම නිසා ආහාර වේල මගහරින බවත්, විශේෂයෙන් උදේ ආහාර වේල ප්‍රධාන වන බවත් අනාවරණය වී ඇත.
අධ්‍යයනයට ලක්කළ සිසුන්ගෙන් බොහොමයක් පමණ (80%)ක් කෙටි ආහාර සඳහා වැඩි නැඹුරුවක් දක්වා තිබේ. තවද රජයේ පාසල්වල සිසුන් බහුතරයක් ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම පෞද්ගලික පාසල්වල සිසුන්ට සාපේක්ෂව පහළ මට්ටමක පවතින අතර, අමතර පන්ති සහ කාර්ය බහුලත්වය එයට ප්‍රධාන හේතුවක් බව පෙන්වා ඇත.
අධ්‍යයනයෙන් යොවුන් වයසේ දරුවන්ගේ ආහාර රටා පිළිබඳ දෙමාපියන්ගේ අවධානයත් පහළ මට්ටමක පවතින බවද හෙළි වී ඇත.
එමෙන්ම, සමාජ මාධ්‍ය සහ සම වයසේ මිතුරන්ගේ බලපෑම්ද දරුවන්ගේ ආහාර පුරුදුවලට බලපා ඇති බව අධ්‍යයනයෙන් පෙනී යයි.