''රටම දන්න ලංකා සතොසට ආණ්ඩුවෙන් අලුත් හැඩයක්?'' - සතොසට ආණ්ඩුව කරන්න යන දේ මෙන්න

Report

ලංකා සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළක් යටතේ එහි වෙළෙඳ නාමය යටතේ භාණ්ඩ අලෙවි කිරීම සඳහා ෆ්‍රැන්චයිස් ක්‍රමවේදයක් හඳුන්වාදීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා සඳහන් කළේ ලංකා සතොස මේ වනවිට රුපියල් බිලියන 24ක පාඩුවක් රැස්කරගෙන ඇති අතර, සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 14ක මුදලක් ගෙවීමට ඇති බවයි.

එමෙන්ම සතොස අලෙවිසැල් 200කට වැඩි සංඛ්‍යාවක් පාඩු ලබමින් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කර ඇත.

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා ලාභදායී නොවන ශාඛා වසා දැමීම, අලෙවිසැල් 100ක් නවීකරණය කිරීම සහ සැපයුම් දාමය වැඩිදියුණු කරමින් ෆ්‍රැන්චයිස් ක්‍රමවේදයකට යොමුවීම රජයේ සැලසුම බව අමාත්‍යවරයා පවසා තිබේ.

“ශාඛා 100ක් ප්‍රතිව්‍යුහගත කරන අතරතුර, ෆ්‍රැන්චයිස් ක්‍රමයට ගමන් කර සතොස වෙළෙඳ නාමය යටතේ භාණ්ඩ අලෙවි කළ හැකි ක්‍රමවේදයක් අපි ස්ථාපිත කළ යුතුයි.” යනුවෙන් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා නවීන ගබඩා පහසුකම් අවශ්‍ය බවද අමාත්‍යවරයා පෙන්වා දී තිබේ. ඒ අනුව වැලිසර ප්‍රදේශයේ නවීකරණය කළ ගබඩාවක් ඉදිකිරීම සඳහා යෝජනාවක් අයවැයට ඉදිරිපත් කර ඇති බවත්, සතොස ආයතනයේ කාරක ප්‍රාග්ධන සහ තොග සම්බන්ධ ගැටලු විසඳීම සඳහා රාජ්‍ය බැංකුවලින් රුපියල් බිලියන 2.5ක මුදලක් ඉල්ලා ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

අනෝජන්ගේ ඉරණම වෙනස් වෙයිද? - මරණ දඬුවම ගැන සාකච්ඡාවට ශ්‍රී ලංකා නීතිඥයෝ එක්වෙති

අනෝජන්ගේ ඉරණම වෙනස් වෙයිද? - මරණ දඬුවම ගැන සාකච්ඡාවට ශ්‍රී ලංකා නීතිඥයෝ එක්වෙති

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාද සතොස අලෙවිසැල් සඳහා ෆ්‍රැන්චයිස් ක්‍රමය හඳුන්වාදීමේ යෝජනාවට සහාය පළ කර තිබේ.

කාරක ප්‍රාග්ධනය සම්බන්ධ ගැටලු විසඳීම සඳහා අලෙවිසැල් සිය ගණනක් ෆ්‍රැන්චයිස් ක්‍රමයට ලබාදෙන ලෙස ඔහු රජයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම මධ්‍යගත ගබඩා ක්‍රමවේදයක් හරහා විශාල තොග පවත්වාගෙන යාමෙන් භාණ්ඩ අතුරුදන්වීම් සිදුවිය හැකි බවත්, සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරයේ පවතින අඩු ලාභ ආන්තිකයට එය බලපෑමක් ඇති කළ හැකි බවත් කරුණානායක මහතා පෙන්වා දී තිබේ.

“ෆ්‍රැන්චයිස් ක්‍රමය නිවැරදියි. අලෙවිසැල් 424ක් ෆ්‍රැන්චයිස් පදනම මත ලබාදෙන්න. එසේ නැතිනම් සැපයුම්කරුවන්ගෙන් ණය පහසුකම් ලබාගන්න. එවිට ඔබට කාරක ප්‍රාග්ධනය සම්බන්ධ ගැටලුවකට මුහුණදීමට සිදුවන්නේ නැහැ.” යනුවෙන් ඔහු සඳහන් කර ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ගබඩා සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා ඉදිරිපත් වන සාධනීය අදහස් රජය සලකා බලන බවයි.

කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ මෙහෙයුම් සම්පූර්ණයෙන්ම පෞද්ගලික සුපිරි වෙළෙඳසැල් සමූහ වෙත පවරාදීමට රජය සූදානම් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

අමෙරිකානු නාවික හමුදාවේ දැවැන්ත යුද නෞකාව කොළඹ වරායට සපැමිණෙයි

අමෙරිකානු නාවික හමුදාවේ දැවැන්ත යුද නෞකාව කොළඹ වරායට සපැමිණෙයි