වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ගැන රජයෙන් සතුටුදායක ආරංචියක්
වැඩිහිටි තැනැත්තන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
මෙම ප්‍රතිපත්තිය මීට පෙර 2006 වසරේදී අනුමත කර තිබූ අතර, වෙනස්වන ලෝක ප්රවණතාවලට අනුගත වීම සඳහා එය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජ කටයුතු දෙපාර්තමේන්තුවේ (UN DESA) පුරෝකථනයන්ට අනුව, 2052 වසර වන විට ශ්‍රී ලංකාවේ අවුරුදු 60 හෝ ඊට වැඩි වයස්ගත ජනගහනය 24.8% දක්වා ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා. 2024 මධ්‍යම වාර්ෂික ජනගහන ඇස්තමේන්තුවට අනුව, දැනටමත් වැඩිහිටි ජනගහනය මිලියන 2.7ක් පමණ වන අතර, මෙම වර්ධනය සමඟ ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව අත්‍යවශ්‍ය බව රජය හඳුනාගෙන තිබෙනවා.
මෙම යාවත්කාලීන ප්‍රතිපත්තිය 'ගෞරවනීය ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් – අර්ථවත් විශ්‍රාම දිවියක්' තේමාව යටතේ සකස් කර ඇති අතර, වැඩිහිටියන්ට සමාජීය, ආර්ථික, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගෞරවය සහ සහායක පරිසරයක් තුළ ජීවත්වීම සඳහා මෙම ප්‍රතිපත්තිය නිර්මාණය කර තිබෙනවා.
මෙම යෝජනාව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, එය සැප්තැම්බර් 22 වැනිදා අනුමත වී තිබෙනවා. ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගනු ලැබෙනු ඇති බවත්, එය ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 60 ට වැඩි ජනගහනයේ වර්ධනය සමඟ සමගාමීව සකස් කර තිබෙන බවත් වාර්තා වෙනවා.