රිෂාඩ්ගේ නිවසේ පිළිස්සී මියගිය දැරියගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයට දින දෙයි
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට අයත් කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක මෙහෙකාර සේවයේ යෙදී සිටි බාල වයස්කාර දැරියක් පිළිස්සී මියයෑමේ සිද්ධියට අදාලව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මැයි 5 දින යළි කැඳවිමට අද(17) නියෝග කරේය.
ඒ අනුව මෙම සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදි දෙවන සාක්ෂිකරු වන මියගිය දැරියගේ සහෝදරයා අධිකරණයේදී සාක්ෂි දී තිබේ. එහිදී සිද්ධියට අදාලව වැඩිදුර සාක්ෂි විභාගය මැයි 5 දින දක්වා කල් තැබීය.
මෙම සිද්ධියේ සිව්වන සැකකරු වන රිෂාඩ් බදියුදීන් හා පස්වන සැකකරුවන බදියුදීන් අබ්දුල් රිෂාඩ් යන සැකකරුවන් දෙදෙනාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔවුන් නිදහස් කරන ලෙස පෙර නඩු වාරයේදී අධිකරණයෙන් නියම කළේය.
ඒ අනුව මෙම සිද්ධියේ පළමු විත්තිකරු වන දැරියව මෙහෙකාර සේවය සඳහා ලබා දුන් බව කියන පොන්නයියා පණ්ඩාරම්, දෙවන විත්තිකරු වන රිෂාඩ් බදියුදීන්ගේ මාමණ්ඩිය බව කියන අලි ඉබ්රාහිම් කිදර් මොහොමඩ්, හා තෙවන සැකකාරිය වන රිෂාඩ් බදියුදීන්ගේ බිරිය වන කිදර් මොහොමඩ් ශිහාබ්දීන් අයීෂා, යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරන ලෙසටද පෙර නඩු වාරයේදී අධිකරණයෙන් නියම කරේය.
කොළඹ දකුණ කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් කෲරත්වයට පත් කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළඳාම, ඇතුලු චෝදනා කීපයක් යටතේ විත්තිකරුවන් තිදෙනාට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
ඉහත සඳහන් පළමුවන සැකකරු වන පොන්නයියා පණ්ඩාරම් නැමැත්තා එම දැරියව මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා කොළඹ බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පිහිටි රිෂාඩ් බදියුදීන්ගේ නිවසට බාරදී ඇති බවත් ඒ වනවිට එම දැරිය 15 හැවිරිදි වියේ පසුව ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනය සිදුකළ බොරැල්ල පොලිසිය පෙර නඩු දිනයකදී අධිකරණයට වාර්තා වේ.
වසර කීපයක් එම නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඇයගේ සිරුරට 2021 ජූලි මස 3 වන දින ගිනි ඇවිලි ඇති බවත් පසුව ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 15 දින මියගොස් ඇති බවද සඳහන්.
මේ වන විට මෙම සිද්ධියට අදාළව 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබූ අතර එම විමර්ශන වල ප්‍රතිඵලයක් වශයෙන් ඉහත සඳහන් විත්තිකරුවන් තිදෙනා ඇතුළු පස් දෙනකු සැකකරුවන් වශයෙන් නම් කර ඇත.