රටට ඩොලර් ගෙනෙන ඇඟලුම්වලට මොකද වුණේ? අගෝස්තුවේ අසුබ සංඥාවක්
ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 2026 අගෝස්තු මාසයේදී සියයට 7.4කින් පහත වැටී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අපනයන දත්තවලට අනුව, 2025 අගෝස්තු මාසයේදී ඇඟලුම් අපනයනයෙන් ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 469.6ක් විය.
කෙසේ වෙතත්, මෙම වසරේ අගෝස්තු මාසයේදී එම ආදායම ඩොලර් මිලියන 434.8ක් දක්වා අඩු වී තිබේ. මේ අතර, 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය තුළ ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 3,108.3ක් ලෙස වාර්තා වී ඇත.
2025 වසරේ එම කාලසීමාවේදී ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 3,318.1ක් වූ අතර, ඒ අනුව මේ වසරේ මුල් මාස අට තුළ එම ආදායම සියයට 6.3කින් පමණ පහත වැටී තිබේ. ඇඟලුම් අංශයට පමණක් නොව, සමස්ත රෙදිපිළි හා ඇඟලුම් අපනයනවලද පහත වැටීමක් පෙන්නුම් කරයි.
ඒ අනුව, අගෝස්තු මාසයේ රෙදිපිළි හා ඇඟලුම් අපනයන සියයට 8.4කින් අඩු වී ඇති අතර, ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ එම අංශයේ අපනයන සියයට 6.7කින් පහත වැටී ඇත.
මෙම දත්ත අනුව, ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන අංශයක් වන ඇඟලුම් කර්මාන්තය 2026 වසරේ මේ දක්වා සැලකිය යුතු පසුබෑමකට මුහුණ දෙමින් සිටින බව පෙනී යයි.