මේක දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට පත් වෙලා - ගම්මන්පිල
මේ දිනවල රටේ ආන්දෝලනයක් ඇති කළ මොඩියුල ගැටලුව සමඟ විවිධ දේශපාලන කතා මතු විය. එවැනි පසුබිමක පිිවිතුරු හෙළ උරුමය මඟින් පැවති මාධ්‍ය හමුවේ දී එහි පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කර තිබුණා. ඒ අනුව ඔහු සඳහන් කළේ මාලිමා ආණ්ඩුව විසින් වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
"අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ සංවාදය අද හයේ පොතේ එක ඉංග්‍රිසි මොඩියුලයකට සීමා වෙලා. මේක මුහුද මැද තිබෙන දැවැන්ත අයිස් කන්දේ ජලයෙන් උඩට ආපු කඳු මුදුන විතරයි. සමස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියම අවුල්. අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන දේශප්‍රේමිත්වය, විනය සහ ධාර්මික බව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා නැත්තටම නැති කරනවා. ශ්‍රී ලංකා රාජ්‍යය බිඳ වැට්ටවීමේ කුමන්ත්‍රණයේ ට්‍රොජන් අශ්වයා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. මේක සම්පූර්ණයෙන් අගමැතිනිය සිය එන්ජිඕ නඩය සමග කරන විනාශකාරි ව්‍යාපෘතියක්. අගමැතිනිය තවමත් හිතාගෙන ඉන්නේ එයා නෙස්ට් ශ්‍රී ලංකා එන්ජීඕවේ ප්‍රධානියා කියලා මිස ලංකාවේ අධ්‍යාපන ඇමතිනිය කියලා නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දැවැන්ත සමාජ සංවාදයක් සමග සිදුවිය යුතු දැවැන්ත ව්‍යාපෘතියක්. අවම තරමින් මාලිමා අධ්‍යාපන කමිටුවේ සභාපති වුණු මහචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිවත් මේ ගැන දන්නේ නෑ කියලා එතුමා ප්‍රකාශ කර තිබුණා. මේ රටේ ඉන්නා විද්වතුන් දන්නේ නැතිනම්, අධ්‍යාපනඥයින් දන්නේ නැතිනම් ගුරුවරු දන්නේ නැතිනම් අඩුම ගණනේ මාලිමාව දන්නේ නැතිනම් මෙතැන කුමන්ත්‍රණයක් නැද්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දරුවා වැදූ අම්මා හරිනි අමරසූරිය අගමැතිතුමිය වුණාට තාත්තා කවුද කියා දන්නේ නැති අවජාතක දරුවෙක් බවට අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පත් වෙලා. හයේ ඉංග්‍රිසි පොතේ කොල දෙකක් ඉරලා මේ ප්‍රශ්නය විසඳිය හැකියි කියලා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුවට වැරදිලා.
අපි කොල ඉරන්නෝ කියලා අළුත් රැකියා අවස්ථා ජනිත කලා, වඩේ කර්මාන්තයට කඩල කර්මාන්තයට පරිසර හිතකාමි මළු හදන්න කොල ලබා දුන්නා කියලා ඩෝබි බලකාය ලවා සමාජ මාධ්‍යවල ලියවලා මේ ප්‍රශ්නයෙන් ගොඩ යන්න පුළුවන් කියා ආණ්ඩුව හිතනවා නම් ආණ්ඩුව පව්. පොතේ කොල දෙක අනිවාර්රයෙන් ඉරා දැමිය යුතුයි. ඒත් කොල දෙකක් ඉරා දැමීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. හරිනි අමරසූරිය මැතිනිය අනිවාර්රයෙන් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. නමුත් අධ්‍යාපන ඇමති ධූරයෙන් ඉල්ලා අස්විමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. මේ ප්‍රශ්නය විසඳීමට නම් ආණ්ඩුව වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත යුතුයි. අධ්‍යාපනයෙන් කරන්නේ ජාතියේ අනාගතයේ අත්තිවාරම දාන එකයි. අද ලෝකය පුරා ලංකාවේ අධ්‍යාපනයට විශාල පිලිගැනීමක් තිබෙනවා. විදේශීය විශ්ව විද්‍යාලවල උගන්වන කාලයේ අපි ඒක අත්වින්දා. ඒ නිසා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියන්නේ අතිශයින්ම බැරෑරුම් කටයුත්තක්. එවැනි ලොකු වැඩක් කරන්න අවශ්‍ය අත්දැකීම්, දැනුම සහ බුද්ධිය මේ ආණ්ඩුවට නෑ. මේ තුනෙන් එකක් හරි නැතිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න බෑ. අවාසනාවට මේ ආණ්ඩුවට මේ තුනෙන් එකක්වත් නෑ. ඉතින් කොහොමද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්නේ? ඒ නිසා මාලිමා ආණ්ඩුව වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගත යුතුයි. එහෙම කලොත් මේ ආණ්ඩුව රට වෙනුවෙන් එකම එක වැඩක් හරි කලා කියලා මාලිමාවට ඡන්දය දුන්නු අයට සතුටු වෙන්නත් පුළුවන්." යනුවෙන්.