2025 ශිෂ්‍ය කණ්ඩායමට අසුබ ආරංචියක් - විශ්වවිද්‍යාලයට යාමට වරම් අහිමි වේ?
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලුවලට රජය විසඳුම් ලබා නොදීම හේතුවෙන් 2025 උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම විශ්වවිද්‍යාල වෙත බඳවා ගැනීමට හෝ ඔවුන්ට ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනය පවසයි.
එහි ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා සඳහන් කළේ පවතින දැඩි ආචාර්ය හිඟය මෙම අර්බුදයට ප්‍රධානතම හේතුව වී ඇති බවයි.
ඇතැම් විශ්වවිද්‍යාලවල 2024 උසස් පෙළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ වී ඇත්තේ ද මෑතකදී බව පෙන්වා දුන් ඒ මහතා, ශිෂ්‍ය කණ්ඩායම් 4ක් සිටිය යුතු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දැනටමත් කණ්ඩායම් 5ක් හෝ 6ක් රැඳී සිටින බව අවධාරණය කළේය.
මෙවැනි පසුබිමක 2025 කණ්ඩායම ලබන සැප්තැම්බර් මාසයේදී බඳවා ගැනීමට හැකියාවක් නොමැති බවත්, උසස් පෙළ අවසන් කිරීමෙන් පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට වසර 3-4ක් බලා සිටීමට සිදුවීමේ බරපතළ අවදානමක් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ආචාර්යවරුන් මෙතෙක් කැපවීමෙන් කටයුතු කළ ද පවතින තත්ත්වය යටතේ තවදුරටත් එය පවත්වාගෙන යා නොහැකි බව FUTA ලේකම්වරයා අවධාරණය කරයි.