ඉන්ධන මිල සූත්‍රය සතිපතා ක්‍රියාත්මක වෙන ලකුණු
ලෝක වෙළඳපොළේ තෙල් මිල උච්චාවචනය වීම සැලකිල්ලට ගනිමින් මෙතෙක් ක්‍රියාත්මක වූ මාසික ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදය වෙනුවට, මසකට කිහිප වතාවක් මිල වෙනස් කළ හැකි නව මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජය තීරණය කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ, ලබන මැයි මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව ක්‍රමවේදය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමිව ඇති බවයි.
ඒ අනුව ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් අවශ්‍යතාව අනුව සතිපතා හෝ ඉක්මනින් මිල සංශෝධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.
ලෝක වෙළඳපොළේ මිල අඩුවන අවස්ථාවලදී එහි වාසිය වහාම පාරිභෝගිකයාට ලබා දීමටත්, මිල ඉහළ යන අවස්ථාවලදී දේශීය මිල ගණන් ද ඊට සාපේක්ෂව වෙනස් කිරීමටත් මෙම ක්‍රමවේදය මගින් අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 700ක ණය වාරිකය නිදහස් කර ගැනීම සඳහා පිරිවැය ආවරණය වන පරිදි ඉන්ධන සහ විදුලි මිල නියම කිරීම ප්‍රධාන කොන්දේසියක් වී ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත්, පීඩාවට පත්වන ජනතාව ආරක්ෂා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සහන කිහිපයක් ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ. ඒ අනුව මීළඟ මිල සංශෝධනයේදී ඩීසල් ලීටරයකට රුපියල් 100ක උපරිම සහනයක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක උපරිම සහනයක් ලබා දීමට සැලසුම් කර ඇත.
මීට අමතරව විදුලි ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පාරිභෝගිකයන් සහ ධීවර ප්‍රජාව සඳහා සහන සැලසීමට රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කර ඇති බවද සඳහන් වේ.
මේ අතර මැදපෙරදිග පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් ලෝක තෙල් වෙළඳපොළ තවදුරටත් උච්චාවචනය වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 95 සීමාව පසුකර ඇති අතර එය ඩොලර් 100 සීමාව දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බවද වාර්තා වේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය සීමා වීමද ගෝලීය තෙල් මිල පාලනයකින් තොරව ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.