ලංකාවම කළඹපු භාණ්ඩාගාර කොල්ලය ගැන රටට හෙළි නොකරපු හේතුව මෙන්න - මාලිමාවේ ලොක්කෙක් කට අරී
මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය වංචාව සැලසුම් සහගතව සිදු කළ එකක් නොව, අදාළ නිලධාරීන් සහ ජාත්‍යන්තර ආයතන අතර සන්නිවේදන ක්‍රියාවලියේ සිදුවූ දුර්වලතාවක් සහ අක්‍රමිකතාවක් බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව 2026 වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු අපනයන මූල්‍ය ආයතනයකට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 2.5ක මුදලක් ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් (Email) භාවිතා කරමින් වෙනත් ගිණුමකට බැර කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෙළි කර ඇති බව සඳහන්.
එමෙන්ම මෙම වංචාකාරී ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය වූ වහාම රජය ක්‍රියාත්මක වී ඇති අතර, ඉන්දියාවට ගෙවීමට තිබූ තවත් එවැනිම මුදලක් වැරදි ගිණුමකට බැර වීමට ගිය අවස්ථාවේදී එය වළක්වා ගැනීමට මහා භාණ්ඩාගාර බලධාරීන් සමත්ව ඇති බවත් වාර්තා වේ.
සයිබර් අපරාධකරුවන් මුදල් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ක්‍රියාත්මකයි – ඇමති ක්‍රිශාන්ත අබේසේන
කෙසේ වෙතත් විපක්ෂය විසින් එල්ල කරන "තොරතුරු සඟවාගෙන සිටි බවට" වන චෝදනාවලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් මෙවැනි සිදුවීම් පිළිබඳව විමර්ශන අවසන් වීමට පෙර තොරතුරු හෙළි නොකළ බවයි.
එසේම ඔහු අවධාරණය කර ඇත්තේ මෙවැනි සයිබර් අපරාධ පිළිබඳ තොරතුරු කලින් අනාවරණය කිරීමෙන් හැකර්වරුන් (Hackers) ඔවුන්ගේ උපක්‍රම සහ ක්‍රමවේද වෙනස් කිරීමට ඉඩ ඇති බැවින් විමර්ශනවලට බාධාවක් නොවන ලෙස කටයුතු කළ බවයි.
කෙසේ වුවද මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පරිගණක අපරාධ අංශය මඟින් විමර්ශන ආරම්භ කර ඇති අතර, අදාළ නිලධාරීන්ට එරෙහිව ආයතනික විනය පරීක්ෂණ ද ක්‍රියාත්මක වන බව සඳහන්.
එසේම අහිමි වූ මුදල් නැවත ලබා ගැනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයාගේ සහයෝගය ද ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසා ඇත.
තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, මෙවැනි සයිබර් අපරාධයක් සම්බන්ධ තොරතුරු අකාලයේ ප්‍රසිද්ධ කිරීමෙන් එම අපරාධය සිදුකළ හැකර්වරුන්ට (Hackers) තමන්ව හඳුනාගෙන ඇති බව දැන ගැනීමට ලැබෙන බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එබැවින් එවැනි අවස්ථාවක ඔවුන් තමන්ව හසු නොවන පරිදි භාවිතා කරන ඩිජිටල් උපක්‍රම සහ ක්‍රමවේද වහාම වෙනස් කිරීමට පෙළඹෙන බැවින්, එය විමර්ශනවලට බාධාවක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව වගකිවයුතු ආණ්ඩුවක් වශයෙන් මෙම සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) සහ පරිගණක අපරාධ අංශයට පැමිණිලි කර විමර්ශන ආරම්භ කර තිබු බවත් එම විමර්ශන සාර්ථක කර ගැනීමට නම් තොරතුරු රහසිගතව තබා ගැනීම අත්‍යවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහස වී ඇත.
එමෙන්ම රජයේ මූලික ඉලක්කය වී ඇත්තේ අහිමි වූ ඩොලර් මිලියන 2.5 ක මුදල නැවත ලබා ගැනීම බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියානු බලධාරීන්ගේ සහයද ඇතිව කටයුතු කරන බැවින්, ප්‍රසිද්ධියේ තොරතුරු හෙළිදරව් කිරීමෙන් එම ක්‍රියාවලියට සහ හැකර්වරුන් කොටු කර ගැනීමට ඇති අවස්ථාවට හානි සිදුවිය හැකි බවත් ඔහු පවසා ඇති බව සඳහන්.