විදේශ ආයෝජකයන්ගෙන් ශ්‍රී ලංකාවට තවත් බිලියන ගණනක් - මහ බැංකු දත්තවලින් හෙළිවෙයි

Report

ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර සඳහා විදේශ ආයෝජකයන්ගේ ආයෝජන තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, අගෝස්තු 21න් අවසන් වූ සතිය තුළ පමණක් ඔවුන් රුපියල් බිලියන 8.3ක පමණ, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 25.5ක ශුද්ධ ආයෝජනයක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත පෙන්වා දෙයි.

මෙම ආයෝජනයත් සමඟ ජුනි 19 සිට අඛණ්ඩව සති 10ක් තුළ රජයේ සුරැකුම්පත්වලට විදේශ ආයෝජකයන් සිදුකර ඇති සමස්ත ශුද්ධ ආයෝජනය රුපියල් බිලියන 81.2ක් හෙවත් ඩොලර් මිලියන 246.3ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රුපියල් බැඳුම්කරවල විදේශ ආයෝජකයන් සතු කොටස රුපියල් බිලියන 202.5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මහ බැංකුව විසින් නිකුත් කරන සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ මෙතෙක් සඳහන් කර ඇති ඉහළම අගයයි.

යුරෝපා සංගමයේ රන් දොරටුව නැවත ඇරගන්න ලංකාව සැරසෙයි

යුරෝපා සංගමයේ රන් දොරටුව නැවත ඇරගන්න ලංකාව සැරසෙයි

කෙසේ වෙතත්, මහ බැංකු නිලධාරීන් පෙන්වා දෙන්නේ ආර්ථික තත්ත්වයන්ට අනුව සතියේ වැඩ කරන දිනවල මෙම අගය දෛනිකව වෙනස් විය හැකි බැවින්, එය ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය බව නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

විශ්ලේෂකයන් පවසන්නේ රුපියලේ අගය සාපේක්ෂව ස්ථාවර වීමත් සමඟ විදේශ ආයෝජකයන්ගේ රුපියල් බැඳුම්කර සඳහා ඇති උනන්දුව යළි ඉහළ ගොස් ඇති බවයි.

මේ වසරේ මැයි 21 වනදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අනුපාතය වසර තුනකට ආසන්න කාලයකට පසු පහළම මට්ටම වන රුපියල් 354ක් දක්වා අවප්‍රමාණය වූ අතර, පසුව එය යළි ශක්තිමත් වී රුපියල් 333ක පමණ මට්ටමකට පැමිණ තිබේ.

කෙසේ වෙතත්, අගෝස්තු 21 වනදා වනවිට මේ වසරේ රුපියලේ සමස්ත අවප්‍රමාණය 6.1%ක් ලෙස වාර්තා වී ඇත. වසර තුනකට වැඩි කාලයක් සාපේක්ෂව ස්ථාවරව පැවති රුපියල මැයි මාසයේදී සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වූ අතර, මැදපෙරදිග පවතින ගැටුම් හමුවේ ඉන්ධන සහ වාහන ආනයන ඉහළ යාම ඊට බලපෑ බව මහ බැංකුව සඳහන් කර තිබිණි.

මේ අතර, මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍රවීමත් සමඟ ගෝලීය ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ආයෝජකයන් තුළ පවතින්නේද යම් අවිනිශ්චිතතාවක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකා රුපියල් බැඳුම්කර වෙළෙඳපොළ වෙත ලැබී ඇති සමස්ත විදේශ ආයෝජන ප්‍රවාහය රුපියල් බිලියන 61.2ක් පමණ වන අතර, පසුගිය වසරේදී එය රුපියල් බිලියන 71.5ක ශුද්ධ ආයෝජනයක් ලෙස වාර්තා විය.

විශ්ලේෂකයන්ට අනුව, පසුගිය කාලයේ ශ්‍රී ලංකාව අනුගමනය කළ ඉල්ලුම පාලනය කිරීමේ සහ ආනයන සීමා කිරීමේ ප්‍රතිපත්තිද විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට යම් දුරකට හේතු වී තිබේ.

කෙසේ වෙතත්, ඉන්ධන මිල සැලකිය යුතු ලෙස ඉහළ දැමීමෙන් පසු පසුගිය මාස තුන තුළ මෙරට උද්ධමනය යළි ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ. ජුනි මාසයේ අවසන් සතියේදී රජය ඉන්ධන මිල අඩු කළ අතර, ජූලි මාසයේදීද එම මිල ගණන් ස්ථාවරව පවත්වාගෙන ගියේය.  

අද ඩොලරයේ අගය තවත් අඩු වෙයි- වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න

අද ඩොලරයේ අගය තවත් අඩු වෙයි- වාණිජ බැංකුවල අලුත්ම විනිමය අනුපාතික මෙන්න