යුරෝපා සංගමයේ රන් දොරටුව නැවත ඇරගන්න ලංකාව සැරසෙයි
යුරෝපා සංගමයේ GSP+ පහසුකම සඳහා ශ්‍රී ලංකාව 2028 වසර අවසානයේදී යළි අයදුම් කිරීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නිලධාරීන් පිරිසක් සමඟ පැවැති හමුවකදීය.
GSP+ සහනය ලබාගැනීමේ ක්‍රියාවලියේදී යුරෝපා සංගමයේ සාමාජික රටවල මිතුරන්ගේ සහයෝගය අඛණ්ඩව අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම, රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම, සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම ඇතුළු ක්ෂේත්‍ර සම්බන්ධයෙන් රජය ගෙන ඇති සහ ගනිමින් සිටින ප්රගතිශීලී පියවර පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
යුරෝපා සංගමයේ සංශෝධිත GSP+ නීති රීති යටතේ 2028 දෙසැම්බර් වන විට එම පහසුකම සඳහා යළි අයදුම් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් වන බවද ඔහු පැවසීය.
GSP+ සහනය ලබාදීම මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, යහපාලනය සහ පාරිසරික ආරක්ෂාව සම්බන්ධ ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූල වීම මත තීරණය කෙරෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, නියමිත කාල රාමුව තුළ GSP+ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරමින්, අදාළ ක්ෂේත්රවල පවතින ගැටලු විසඳීමට රජය බලාපොරොත්තු වන බවද විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.