සාමාන්‍ය පෙළ ලියන ශිෂ්‍යන්ට විශේෂ දැනුම්දීමක් - වෙබ් අඩවියේ කාලසටහන බලලා වැඩ කරන්න
අද (17) සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (G.C.E. O/L) 2025 (2026) විභාගය සඳහා නිවැරදි කාලසටහන පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය අපේක්ෂකයින්ට දැනුම් දී තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය (www.doenets.lk) සහ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති කාලසටහන පමණක් භාවිත කළ යුතු බවත්, පසුගිය වසරට වඩා මෙවර විෂය පෙළගැස්මේ සැලකිය යුතු වෙනස්කම් (විශේෂයෙන් 5, 6, 7, 8 දිනවල) ඇති බැවින් පැරණි කාලසටහන් භාවිත නොකරන ලෙසත් ඇය අවධාරණය කළාය.
විභාගය අද උදෑසන 8.30ට ආරම්භ වන අතර, විභාග මධ්‍යස්ථානයට පැයකට පෙර (අවම වශයෙන් 7.30ට) පැමිණිය යුතුයි. සවස් වරු විභාග ප.ව. 1.30ට ආරම්භ වන අතර, ප.ව. 12.30ට මධ්‍යස්ථානයට වාර්තා කළ යුතුයි.
වැදගත් උපදෙස්:
ජංගම දුරකථන, බ්ලූටූත් උපකරණ, ස්මාට් වොච්, සටහන් හෝ ලේඛන රැගෙන යාම තහනම් (එය දඬුවම් ලැබිය හැකි වරදකි).
හැඳුනුම්පත විභාගය අවසන් වන තෙක් රැගෙන යා යුතුයි.
පාසල් අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය භාවිත කළ හැකියි.
පෞද්ගලික අපේක්ෂකයින්ට අවශ්‍ය නම් ඡායාරූප දෙකක් සහිත ග්‍රාම නිලධාරි විසින් සහතික කළ තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකියි.
විභාග ශාලාවේ නීති රීති ආරක්ෂා කළ යුතුයි; මුහුණ පැහැදිලිව හඳුනාගත හැකි ලෙස පැමිණිය යුතුයි. වෙනත් අපේක්ෂකයින්ට බාධා ඇති කරන හැසිරීම් (විවේක කාලයේදී පවා) වළක්වා ගන්න – එවැනි වරදකට ප්‍රතිඵල අත්හිටුවීම දඬුවම් විය හැකියි.
පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂාව ලබා දෙන අතර, ආපදා තත්ත්වයන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරන්තරයෙන් ක්‍රියාත්මකව සිටිනවා.
මෙවර විභාගයට පාසල් අයදුම්කරුවන් 382,249ක්, පෞද්ගලික අයදුම්කරුවන් 69,214ක් ලෙස මුළු අපේක්ෂකයින් 451,463ක් පෙනී සිටින අතර, මධ්‍යස්ථාන 3,545ක්හිදී පැවැත්වෙනවා. විභාගය පෙබරවාරි 26 වැනිදා දක්වා පැවැත්වෙන බවත් සඳහන්.