රුමේනියාවේ රැකියා පෙන්නා කෝටි 88ක් වංචා කළ රේන්බෝ ඒජන්සියේ හිමිකරු… එජාපයට පැනපු සජබ දේශපාලකයෙක් - විදේශ ඇමති විපක්ෂයේ කට වහපු හැටි
රුමේනියාවේ රැකියා පොරොන්දුවෙන් රුපියල් කෝටි 88කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ සිටින "රේන්බෝ" විදේශ රැකියා ආයතනයේ සැබෑ හිමිකරුවන් තවමත් අත්අඩංගුවට ගෙන නොමැති බවත්, ඔවුන් මෙම ජාවාරම දේශපාලන රැකවරණය යටතේ සිදුකර ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. මහරගම "රේන්බෝ" සහ බත්තරමුල්ල "නිව් රේන්බෝ" ආයතන මගින් හයසිය හතලිහකට අධික පිරිසකින් රුපියල් කෝටි 86කට අධික මුදලක් වංචා කර ඇති බව විපක්ෂ නායකතුමා පෙන්වා දුන්නේය.
"මේ අත්අඩංගුවට අරන් තියෙන්නේ ඩිරෙක්ටර් බෝඩ් එක... ඇත්ත කට්ටිය තවම ගත්තේ නෑ... දේශපාලන රැකවරණය සහිතව මේ වැඩේ කරගෙන ගිහින් තිබෙන්නේ ඒ දවස්වල ඔබතුමාලගේ පැත්තේ (සජබ) ඉඳන් ඒ කාලේ ආණ්ඩුවට (එජාප) පැනපු කෙනෙක්. ඔහුගේ පුද්ගලික ජීවිතයටත් මේ වංචාව සම්බන්ධයි..."
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකළ ප්‍රශ්නයේදී, මෙම ආයතනයේ බලපත්‍රය තහනම් කර තිබියදීත් වංචා සිදුකර ඇති බවත්, විමර්ශන මන්දගාමී බවත්, චෝදනා ගොනුකිරීමක් නොමැති බවත් පෙන්වා දුන්නේය.
"මම ඉල්ලීමක් කරනවා ඔබතුමා පුද්ගලිකව මේ කරුණු හොයලා බලන්න. මොකද විමර්ශන ක්‍රියාත්මක වෙන්නේ බොහොම මන්දගාමීව. ඒ වගේම තාම චෝදනා ගොනු කිරිමක් කරලා නෑ. ආයතනයේ අයිතිකාරයව අත් අඩංගුවට අරන් තියනවා. නමුත් හිමිකාරියක් ඉන්නවා. ඒ ගොල්ල අත් අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරන්න"
ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, මෙම සිදුවීම පසුගිය රජයන් යටතේ සිදුවූ බවත්, දේශපාලන රැකවරණය මැද ජාවාරම සිදුකර ඇති බවත්ය.
"ඔබතුමා මතු කළ රේන්බෝ ආයතනයේ සිද්ධිය අපේ කාලෙ නෙමෙයි. ඒ කාලයේ වෙච්චි එකක්. දේශපාලන රැකවරණය මැද සිද්ධ වෙච්චි එකක්. ඔය අහුවෙලා ඉන්න අය නෙමෙයි ඇත්ත කට්ටිය"
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නව රජය බලයට පත්වීමෙන් පසු මෙම සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, නඩුව උසාවියේ විභාග වෙමින් පවතින බවත්ය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් 06 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, නව පොලිස් විමර්ශන ඒකකයක් පිහිටුවා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. තවද, 1987 පනත සංශෝධනය කර නව පනතක් හඳුන්වාදීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
මෙම වංචාව 2025 නොවැම්බර් මාසයේදී අනාවරණය වූ අතර, ආයතනයේ අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, සැබෑ හිමිකරුවන් සහ දේශපාලන සම්බන්ධතා පිළිබඳ විමර්ශන තවදුරටත් පුළුල් වෙමින් පවතී.
විදේශ රැකියා ආයතනවල වංචා සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, බලපත්‍රලාභී ආයතන පමණක් භාවිතා කිරීමට උපදෙස් දෙයි.